මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්‍රවිඩ ඩයස්පෝරාවේ සමහරුන් යාපනය අස්ථාවර කිරීමට විශාල ලෙස මුදල් වැය කරනවා

    අගෝස්තු 24, 2014
    යාපනය නොසන්සුන් වන තරමට විදේශගත දමිළ ඩයස්පෝරාවේ සමහර කොටස්වලට එම රටවල තවදුරටත් වාසය කළ හැකි බවත් ඒ සඳහා අන්තවාදී දේශපාලන කොටස් හරහා ‍විශාල ලෙස ඔවුන් මුදල් වැය කරන බවත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා පැවසීය.


    4 වන වරටත් ශ්‍රී ලංකාවේ පැවැත් වූ ආරක්ෂක සමුළුවට සහාභාගී වූ ඉන්දියාවේ පිහිටි තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා උතුරේ සංචාරය කළ අතර පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඔවුන් සමඟ පැවැති හමුවේදී මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා මෙසේ පැවසීය.‍

    ඕස්ට්‍රේලියාව, ඝානාව, සැම්බියාව, නෙදර්ලන්තය ඇතුළු රටවල් 11ක ආරක්ෂක උපදේශකවරු මෙම සංචාරයට එක්වී සිටියහ. ඉන්දීය හමුදාවේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අශෝක් මෙහෙතා මහතාද විශේෂ අමුත්තෙකු ලෙස මෙයට සහාභාගි විය.

     

    පැමිණි පිරිස වෙනුවෙන් යාපනය අර්ධද්වීපයේ සමාජයීය, සංස්කෘතීක හා ආගමික පසුබිම පිළිබඳ මූලික හැඳින්වීමක් කළ ආඥාපතිවරයා පශ්චාත් යුද සමයේ ආරක්ෂක හමුදාව විසින් යාපනයේ සිදු කරනු ලබන සංවර්ධන කටයුතු හා මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳ විදේශීය හමුදා නිලධාරින් ද දැනුවත් කරන ලදී. යාපනයේ ජනතාගේ අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය මෙන් ම ක්‍රීඩා වැනි අංශ දියුණු කිරීම පිණිස යාපනයේ ආරක්ෂක සේනා විසින් ව්‍යාපෘති 17ක් පමණ මේ වන විට සහයෝගිතා මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මකව තිබුණ ද සිවිල් පරිපාලනයට කිසිම මැදිහත් වීමක් නොවන බවද ඒ මහතා පැවසීය.

     

    පවුල් 1118ක් නැවත පදිංචි කිරීමට සිටිනවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් දැනට ජීවත් ව සිටින ස්ථානවල ස්ථිර පදිංචි වීම සඳහා සුදානම්. කෙසේ වුවද ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සකස් කරමින් පැවතුණ ද සමහර කොටස් දේශපාලන වාසි උදෙසා එයට බාධා කරනවා යැයි මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.


    මේ සෑම ව්‍යාපෘතියකින් ම ජාතික සංහිඳියාව අරමුණු කරන බවත් ඒ සියල්ල අතරේ ජාතික ආරක්ෂාව පිළිබඳව තම භට පිරිස් සීරුවෙන් සිටින බවත් ආඥාපතිවරයා නියෝජිත පිරිසට පවසා සිටියේය.


    විදේශීය හමුදා නිලධාරීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා එල්.ටී.ටී.ඊ.යට හිතැති දේශපාලන කොටස් විසින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සිංහල හමුදාවක් බවට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හංවඩු ගසන බවත් යුද හමුදාවට සම්බන්ධ වීමට උතුරේ තරුණ තරුණයන් හට ශ්‍රී ලංකා රජය ඉඩ සලසා ඇති අතර ඉහත කී දේශපාලන කොටස් ගෙන් ගෙට ගොස් ආරක්ෂක හමුදාවට හෝ පොලිසියට නොබැඳෙන ලෙස තරුණ කොටස්වලට තර්ජනය කරන බවත් කීය. එම බාධක මැද වුවද යාපනයෙන් තරුණ තරුණයන් 500කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී ඇති බවත් පෙන්වා දුන්නේය.


    මේ හමුවෙන් අනතුරු ව විදේශීය ආරක්ෂක උපදේශකවරු පිරිස කිලිනොච්චිය බලා පිටත්ව ගියහ.
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya