මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ විපක්ෂය දිනවිය හැක්කෙක් නොවේ

    අගෝස්තු 10, 2014
    මිළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවුණහොත්, එතුමා ඉදිරිපත් කරන්නේ විපක්ෂය දිනවිය හැකි දක්ෂයෙක් නොවන බවත්, වික්‍රමසිංහ මහතාගේ විපක්ෂ නායකකමයි, පක්ෂ නායකකමයි ඉදිරියටත් ආරක්ෂා කරදෙන එතුමාටත් වඩා දුර්වල, අසමත් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර පරාජයේ වගකීම ඔහු වෙත පටවා ජනාධිපතිවරණයෙන් 4 වන වතාවටත් පරාජය වීමේ අගෞරවයෙන් වික්‍රමසිංහ මහතා බේරීමේ සූත්‍රය මෙවර ජනාධිපතිවරණයට ද යොදන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් විරවංශ මහතා හෙළිකරයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 13.5 වියදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද දෙමටගොඩ සිරිධම්ම මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (09) පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
     
    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ අමාත්‍යවරයා "අද මේ රටේ ඇතිවන සංවර්ධනය රනිල් වික්‍රමසිංහ මහත්තයට දරාගන්න බැහැ. අපේ රජය කාපට් පාරවල් හදනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේ කාපට් පාරවල් හදලා තියෙන්නේ බඩගින්නේ ඉන්න මිනිසුන්ට මැරිලා වැටෙන්න කියලා. එහෙම කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනදා යනවාට වඩා ඉක්මනින් එම කාපට් පාරවල්වලම ගිහිල්ලා රැස්විම් වැඩි ගණනක් අමතනවා. මේ තමයි එතුමාගේ හැඟීම. 
     
    අද සුළු පිරිසක් කියනවා රනිල් මහත්තයා වෙනුවට සජිත් මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් මෙවර දිනන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා සජිත් මහත්තයා වගේ කෙනෙකුට ඒ අවස්ථාව වික්‍රමසිංහ මහත්තයා ලබාදෙන්නේ නැහැ. සමහර විට කරූ ජයසූරිය මහත්තයා වැනි කෙනෙකුට අවස්ථාව ලබා දෙයි. මොකද එහෙම වුණාම පරාජයේ වගකීම කරූ ජයසූරිය මහතා පිට පැටවෙනවා. එවිට හතරවෙනි වතාවටත් තමා පරාජය වුණා කියන අගෞරවය වික්‍රමසිංහ මහතා මත පැටවෙන්නේ නැති නිසා.
     
    හැම දෙයක්ම වැරදි දෘෂ්ඨි කෝණයෙන් බලන විරුද්ධ පක්ෂයට රටක් ගොඩනගන්න බැහැ. ඒ අයට ඉදිරි දර්ශනයක් නැහැ. දිනා දුන්නු රට ඉදිරියට අරගෙන යනවා වෙනුවට විරුද්ධ පක්ෂයේ මහත්වරු බලන්නේ දිනපු ජයග්‍රහණ ආපස්සට හරවලා නැවත මේ රට අස්ථාවර තත්ත්වයට පත්කරන්න.
     
    ඉස්සර මෙම මහල් නිවාස සංකීර්ණවල අඩුපාඩු පමණයි ඇතැම් මාධ්‍යවල වැඩි වශයෙන් පළවුණේ. නමුත් අපි දැන් මෙම මහල් නිවාස සියල්ලම නවීකරණය කරන කොට එය ඇතැම් මාධ්‍යයන්ට ප්‍රවෘත්තියක් හැටියට පෙනෙන්නේ නැහැ. එදා යුද්ධය පැවති කාලයේ යුද්ධය වෙනුවෙන් වෙන් කෙරුණු මුදල් වර්තමානයේදි රටේ සංවර්ධන වෙනුවෙන් යොදවන්න රජයට අද පුළුවන් වෙලා තියෙනවා. අද අපේ රට භෞතික සංවර්ධනය අතින් විශාල දියුණුවක් ලබමින් සිටිනවා.
     
    නිවාස අමාත්‍යංශය අපි භාරගන්න කොට කොළඹ නගරයේ පැරණි මහල් නිවාස සංකීර්ණ බෙහොමයක් තිබුණේ ජරාවාසයන් බවට පත්වෙලා. නිසියාකාරයෙන් ප්‍රතිසංස්කරණයකට එම මහල් නිවාස ලක් නොවිම නිසා එම මහල් නිවාස සියල්ලම මිනිස් වාසයට නුසුදුසු ජනාවාසයන් බවට පත්වෙලා තිබුණා. ඒ නිසා තමයි අපි අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට මේ  ප්‍රශ්නය යොමු කරලා කොළඹ නගරයේ පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කළේ. මෙම මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමේදි එම නිවාසවල ජනතාවගේ පක්ෂ, පාට, ජාති හා ආගම් භේදයන් මොනවාද කියලා බැලුවේ නැහැ. මෙහි සිටින සියලුම වැසියන් අපේ රටේ වැසියන් කියන හැගීම විතරයි අපට තිබුණේ. ඒ නිසා අද වන විට මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වසර වන විට කොළඹ නගරය ආශ්‍රිතව තිබෙන පැරණි මහල් නිවාස සංකීර්ණවල නිවාස දස දහසකට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට අපේ අමාත්‍යංශයට හැකි වෙලා තියෙනවා. එය අපි ලබාගත් විශාල ජයග්‍රහණයක් වෙනවා.” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජනසෙවණ” නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “නගමු පුරවර” මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසිනි.
     
    නිවාස 72කින් සමන්විත සිරිධම්ම මාවත මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ  කටයුතු  ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සිදුකර තිබේ. ඒ යටතේ නිවාස සංකීර්ණයේ වහල අලුත්වැඩියා කිරීම, වඩිම්බු ලෑලි සවිකර වැහි පීලි යෙදීම, ගොඩනැගිල්ලේ ජලනල කාන්දුවීම් අලුත්වැඩියා කිරීම, නිවාස සංකීර්ණයේ පියගැටපෙළ හා පිවිසුම් මාර්ග අලුත්වැඩියා කිරීම, නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි අලුත්වැඩියා කර වර්ණ ආලේප කිරීම හා ප්‍රජා ශාලාව, බුදු මැදුර හා පොදු ජල ටැංකි අලුත්වැඩියා කර වර්ණ ආලේප කිරීම හා නිවාස සංකීර්ණයේ පොදු භූමි ප්‍රදේශ හා උද්‍යාන අලංකරණය කිරීම ආදී ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර ඇත.
     
    මෙම අවස්ථාව සඳහා කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරී ජී. යූ. උපවංශ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ජනසෙවණ නිවාස මහලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරු, ප්‍රාදේශීය මහජන නියෝජිතයෝ හා ප්‍රදේශවාසිහූ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    Siridamma Mawatha Niwasa sankeernaya janatha aithiyata 04
     
     
    Siridamma Mawatha Niwasa sankeernaya janatha aithiyata 03
        

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya