මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානසික සංවර්ධනයෙන් තොරව රටක් සංවර්ධනය කළ නොහැක Featured

    ජූලි 17, 2014


    මානසික සංවර්ධනයෙන් තොරව රටක් සංවර්ධනය කළ නොහැකි බවත්, ප්‍රාදේශීය හා ජාතික මට්ටමෙන් රට සංවර්ධනය කිරීමේ දී ජනතාවගේ මානසික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු විය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.


    ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරුවලට අනුව වර්ෂ 2020 දී සෙසු රෝගවලට වඩා මානසික රෝග කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව එම දත්ත ඇසුරෙන් තහවුරු වී ඇතැයි ද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය. මහනුවර ශික්ෂණ රෝහලේ මානසික සුවතා සංවර්ධන සංවිධානයේ වාර්ෂික සංවත්සර සැමරුම සහ එම සංවිධානයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම නිමිත්තෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැති උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.


    බෝ වන, බෝ නොවන රෝග මෙන්ම, මානසික රෝග පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු යැයි පැවසූ අග්‍රාමාත්‍යතුමා, අද සමාජයේ හුදකලා වීම, සියදිවි හානි කර ගැනීම, වෛරය හා ක්‍රෝධය වැනි කරුණු කෙරෙහි පුද්ගලයා යොමු වන්නේ මානසික කරුණු නිසා යැයි ද සඳහන් කළේය.


    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පැවසුවේ, “යහපත් මානසිකත්වයක් නැත්නම් සමාජයේ යහපත් ජීවිතයක් ගත කිරීමට හැකියාවක් නැහැ. රට සංවර්ධනය කරා ගෙන යාමේ දී පුද්ගලයාගේ මානසික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුයි. ඇතැම් දියුණු රටවල් තාක්ෂණික වශයෙන් දියුණු වුවද, පුද්ගලයාගේ මානසික හා ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් දක්නට ලැබෙන්නේ නැහැ. නීති රීති අණ පනත් හා කෙටුම්පත් මගින් මනස දියුණු කිරීමට සහ සංවර්ධනය කිරීමට හැකියාවක් නැහැ. නමුත් උසස් සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම මගින් යහපත් මනසක් සහිත ජන කොටසක් සමාජයට දායාද කළ හැකියි.


    විද්‍යාව හා තාක්ෂණය මගින් සමාජයේ නවීන දියුණුවක් ඇති කළත්, එය සෑම විටම මිනිසාගේ විනය හා චින්තනාත්මක දියුණුවක් බවට පත් විය යුතුයි.  නමුත් බටහිර සමාජයේ ඇති වන තාක්ෂණික දියුණුව මගින් විනයාත්මක දියුණුවක් ඇති වන්නේ නැහැ. ඒ නිසාම අද බටහිර සමාජයේ බොහෝ අය බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් අනුව භාවනාදී ක්‍රම සඳහා යොමු වන බව දක්නට තිබෙනවා.
     

    මානසික ආතතිය වැනි මානසික ගැටලුවලට යොමු වීමට පෙර මනස නිසි අයුරින් සකස් කර ගැනීම කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුයි. මානසික රෝගයකට ලක්ව ප්‍රතිකාර ගන්නවාට වඩා එය වළක්වා ගැනීමයි වඩා වැදගත් වන්නේ. නමුත් අද මානසික රෝග සඳහා උසස් ප්‍රතිකාර ක්‍රම මෙරට දීපව්‍යාප්තව ක්‍රියාත්මකයි.  එසේ වුවද ප්‍රතිකාර තිබේ යැයි සලකමින් මානසික ගැටලු කෙරෙහි යොමු වනවාට වඩා මානසික සංවර්ධනය සකස් කර ගැනීම අප සතු පරම යුතුකමක් වන්නේ” යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මධ්‍යම පළාත් සභා මන්ත්‍රී, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න, මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.කේ. රත්නායක, මානසික රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya