මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොස්පේට් පොහොර නිෂ්පාදනය ගැන සොයන්න විද්වත් කමිටුවක්

    මැයි 17, 2018
    එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රයෙන් පොස්පේට් පොහොර නිෂ්පාදනය පිළිබඳ ව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.
     
    ඒ අනුව එම විද්වත් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම රාජ්‍ය ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා කටයුතු කරන අතර ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්, ඩබ්.එම්.එම්.බී. වීරසේකර, එස්.එල්.ජී. බන්දුසිරි, ආචාර්ය ජෙරී ජයවර්ධන, ආචාර්ය ජේ.ඩී.එච්. විජේවර්ධන, ඩබ්.ආර්.යූ.ඩී. බණ්ඩාර සහ ප්‍රභාත් විතාරණ යන මහත්වරුන්ගෙන් මෙම විද්වත් කමිටුව සමන්විත වේ.
     
    මෙකී විද්වත් කමිටුව පත්කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 35,000 කට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යන බැවින් මිලියන 9,000 ක් දේශීය පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යෙදීම කිසිසේත්ම අසාධාරණ නොවන බවයි. 
     
    එම නිසා 2019 ජනවාරි, පෙබරවාරි මාස වන විට එප්පාවල පොස්පේට් නිධිය මඟින් දේශීය පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීම ඉලක්ක කරමින් වැඩකටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා පවසා ඇත.
     
    එප්පාවල පොස්පේට් නිධිය මඟින් විධිමත් පරිදි පොහොර නිෂ්පාදනය නොවන බැවින් ඒ පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති අතර ඊයේ (16) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී නිලධාරීන් පිරිසක් හමු වූ අමාත්‍යවරයා එප්පාවල පොස්පේට් ව්‍යාපෘතිය පිළිබඳ කරුණු විමසා ඇත. එහිදී හෙළිදරව් වූයේ දැනට ලෝකයේ තිබෙන හොඳම පොස්පේට් අතර කැඩ්මියම් අවම පොස්පේට් විශේෂය එප්පාවල පොස්පේට් නිධිය තුළ පවතින බවයි.
     
    මෙම පොස්පේට්වල දියවීමේ හැකියාව වැඩිකිරීම සඳහා වන ක්‍රියාවලිය උදෙසා රුපියල් මිලියන 9,000 ක මුදලක් අවශ්‍ය වන අතර එම මුදල රජය මඟින් යොදන්නේ නම් රජය මැදිහත්වීමෙන් රටට අවශ්‍ය සමස්ත පොස්පේට් පොහොර ප්‍රමාණය එප්පාවල පොස්පේට් නිධිය මඟින් නිපදවිය හැකි බව එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත.
     
    ඒ අනුව එමඟින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ, සකස් කිරීමේ විභවයන් හඳුනාගැනීම, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපායමාර්ග ඇතුළත් සැලැස්මක් සැකසීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇස්තමේන්තුගත මුදල් ප්‍රමාණය සහ මෙහි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීම වැනි කරුණු ඇතුළත් වන පරිදි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට අමාත්‍යවරයා විසින් මෙම විද්වත් කමිටුව පත්කරනු ලැබීය.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya