මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් වගා පාළු වු මොනරාගල උක් ගොවීන්ට මිලියන 75ක්

    ජූලි 16, 2014

    මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන් සඳහා 2014 නියං සහනාධාරය යටතේ රු. මිලියන 75ක් ලබා දීමට කටයුතු කළ බව පසුගිය දා ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික් නව උක් ව්‍යාපෘති ආරම්භ කිරීමේ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණයේදී සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසීය.

    තව දුරටත් සම්මන්ත්‍රණය ඇමතු අමාත්‍යවරයා;
    2013 වර්ෂයේ දි පැල්වත්ත ආයතනය ලබා ගත් උක් අස්වැන්න මෙ.ටොන්. 332,635 කි. 2014 වර්ෂය සඳහා මෙ.ටොන්. 400,000ක් අපි බලාපොරොත්තු වුණා. නමුත් 2014 වර්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ පැවැති දැඩි නියඟය හේතුවෙන් අපේ ඉලක්කය වෙත අපිට ළඟා වීමට පුළුවන් කමක් ලැබුණේ නෑ.

    උක් දඬු මෙ.ටොන් 300,000ක් බලාපොරොත්තුවෙන් ඇඹරීම් කටයුතු ආරම්භ කළා. දිනෙන් දින පැවතුණු දැඩි නියං තත්ත්වය හමුවේ එය පහත වැටෙන්නට වුණා. ඒ අනුව උක් දඬු මො.ටොන් 200,000ෙක් ලබා ගැනීමද අසීරු වුණා. ස්වභාවධර්මය සියල්ල වෙනස් කරනවා. අපි කාටත් එය වලක්වන්න බෑ. එහෙම වුණා කියලා උක් ගොවියා අසරණ කරන්න අපිට හැකියාවක් නැහැ උක් ගොවියාව අපි රැකගත යුතුයි. එබැවින් ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් කාණ්ඩ 02ක් යටතේ සහනාධාර ලෙස රු. මිලියන 75ක් ඔවුන් වෙත ලබා දීමට අපි කටයුතු කළා. වගා කර ඇති හෙක්ටයාර් ගණන මත සියලු ගොවීන්ට මෙම සහනාධාරය ලබා දීමට අපි කටයුතු කළා.

    නිරි වගාව (මහ කන්නය) හෙක්ටයාර් 01ක් සඳහා රු. 5000 බැගින් ද, පැළ වගාව (මහ කන්නය) හෙක්ටයාර් 01ක් සඳහා 12,000ක් ද, බීජ උක් වගාව, නිරි වගාව හා පළමු වගාව (මහ කන්නය) සඳහා හෙක්ටයාර් 01කට රු. 18,000 බැගින් ගෙවීමට කටයුතු කළා.


    ගොවියාට ලබා දුන් මෙම සහනාධාරය ආපසු ඔවුන්ගෙන් අය කර ගැනීමක් සිදු වන්නේ නැ. කාණ්ඩ 02 යටතේ ගොවින් දිරිමත් කිරීමේ දීමනාව රු. 200 සිට රු. 500 දක්වා වැඩි කිරීමට පියවර ගත යුතු බව මම ලංකා සීනි සමාගමට උපදෙස් ලබා දුන්නා. ඉදිරි කන්නයේ දී නැවත අය කර ගැනීමේ පදනම මත ලබා දෙන ණය ආධාර යටතේ මෙය ක්‍රියාත්මකයි.

     

    අතිගරු ජනාධිපතිතුමා පසුගිය අය වැය මගින් අප අමාත්‍යාංශයට ඉඩම් හෙක්ටයාර් 130,000ක් ලබා දීමට කටයුතු කළා. එය උක් ගොවීන් ලැබු විශාල ජයග්‍රහණයක්. ඌවේ ජනතාව එතුමාට ණය ගැති විය යුතුයි. පසුගිය වසරේ දි අප පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත තුළින් රු. මිලියන 1486 ක ශුද්ධ ලාභයක් ලැබුවා. එම ලාභයෙන් රු. මිලියන 297ක් ඉතිහාසයේ ප්‍රථම වතාවට දිරි දීමනා ලෙස ගොවීන්ට සහ සේවක මහත්ම මහත්මීන්ට අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් ලබා දීමට කටයුතු කළා.

     

    අද බදුල්ල දිස්ත්‍රික්කයේ උක් වගාව සඳහා තමුන්නාසේලා එක් ව සිටිනු දැකීම මට විශාල සතුටක්. අපි බීජ දෙනවා, ඉඩම් දෙනවා, පොහොර දෙනවා තමුන්නාසේලා වවන්න, හකුරු හදන්න අපි ඒවා මිල දී ගන්නම්. අද ගොවියෝ වස බොන්නෙ නැ, එල්ලිලා මැරෙන්නෙ නෑ එසේ මැරෙන්න අපි දෙන්නෙත් නෑ. ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කරලා, ග්‍රාමීය ආර්ථිකය උසස් කිරීම තමා අපේ රජයේ පරමාර්ථය.

     

    මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින්, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, කෘෂි පර්යේෂණ නිලධාරින්, උක් පර්යේෂණ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. මීට අමතරව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස, හිටපු පළාත් සභා අමාත්‍ය ඒ.එම්. බුද්ධදාස මහතා ඇතුළු දේශපාලන නායකයින් විශාල පිරිසක්ද සහභාගි වුහ.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya