මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් හා ළමා නිවාස ආශ්‍රිතව සිදු කෙරෙන කායික දණ්ඩනය තුරන්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්

    පෙබරවාරි 07, 2018

    පාසල් හා ළමා නිවාස ආශ්‍රිතව ළමයින්ට සිදුවන කායික දණ්ඩනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම වර්ෂයේ දී කටයුතු සූදානම් කර ඇත.

    පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ වාර්තාව නිකුත් වූ අතර, එහිද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

    එම කමිටුවේ නිර්දේශවල සඳහන් වන්නේ මෙරට ළමයින්ට සිදු වන කායික දණ්ඩනය තුරන් කිරීමට වගකිව යුතු පාර්ශවයන් විශේෂ අවධානයක් යොමු කොට ක්‍රියාකළ යුතු බවයි.

    ඒ අනුව පළමු අදියර ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016.04.29 දින නිකුත් කර ඇති 2016 අංක 12 දරණ පාසල තුළ විනය ආරක්ෂා කිරීම නැමැති චක්‍රලේඛය පිළිබඳව සියලුම පාසල් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත දැනුම ලබාදීමට අපේක්ෂා කෙරේ. එම චක්‍රලේඛයට අනුව පාසල් තුළ ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කර ඇත.

    එමෙන්ම ශාරීරික දඬුවම් වෙනුවට ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග ද එහි දක්වා ඇත. එමෙන්ම කායික දණ්ඩනය ලබාදීම හරහා ළමයින්ට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව මෙන්ම දීර්ඝ කාලීනව එය සමස්ත ජීවිතයේ කඩාවැටීමට බලපාන අන්දම පිළිබඳව ද විශේෂයෙන් විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන් දැනුවත් කිරීමට නියමිතය.

    විශේෂයෙන් ජාත්‍යන්තර පාසල් තුළ සිදුවන ළමා හිංසනයන් පිළිබඳව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු වාර්තා වන අතර, මෙම විශේෂ වැඩසටහන් එම ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට ද
    අපේක්ෂා කෙරේ.

    එමෙන්ම ආයතනගත ළමුන්ට සිදුවන කායික දණ්ඩනය පිළිබඳව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, එය වළක්වා ගැනීම සඳහා එම ආයතන ආශ්‍රිතව විශේෂ දැනුවත් කිරීමේ
    වැඩසටහනක් පැවැත්වීමට ද අවධානය යොමුව ඇත. මෙම දැනුවත් කිරීම් ශ්‍රව්‍ය දෘෂ්‍ය මෙවලම් හා මුද්‍රිත ප්‍රකාශන ආශ්‍රයෙන් මෙන්ම නාට්‍යානුසාරයෙන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya