ඒ අනුව මෙම වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,351,384 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. එය 2016 වර්ෂයේ තෙවන කාර්තුව සදහා රුපියල් මිලියන 2,276,896 ක් විය.
“කෘෂිකර්මය”, “කර්මාන්ත”, “සේවා” සහ “භාණ්ඩ මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ)” පවත්නා මිල ගණන් යටතේ 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වා ඇති දායකත්වයන් පිළිවෙලින් සියයට 7.6 ක්, සියයට 27.8 ක්, සියයට 56.3 ක් සහ සියයට 8.3 ක් ලෙස වාර්තා වේ. තව ද මෙම කාර්තුවේ දී සේවා අංශයේ ආර්ථික කටයුතු සියයට 4.3 ක ප්‍රසාරණයක් වාර්තා කර ඇති අතර කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු ද සියයට 1.9 ක වර්ධනයක් වාර්තා කර ඇත. එහෙත් කෘෂිකාර්මික ආර්ථික කටයුතු වාර්තා කර ඇත්තේ සියයට 3.3 ක ඝෘණ වර්ධනයකි. මෙය 2010 වර්ෂයේ සිට මේ දක්වා කෘෂිකාර්මික ආර්ථික කටයුතු සම්බන්ධයෙන් තෙවන කාර්තුවේ දී වාර්තා වු විශාලත ම ඝෘණ ආර්ථික වර්ධනය ද වේ. පසුගිය වර්ෂ දෙක තුළ ම පාහේ දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලට බලපෑ වගා කටයුතු සදහා හිතකර නොවන කාලගුණික තත්ත්ව ( නියගය හා දැඩි වර්ෂාපතනය) නිසා කෘෂිකාර්මික ආර්ථික කටයුතු පසුගිය කාර්තු 7 සඳහා අඛණ්ඩව ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.
ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ගත් කළ පසුගිය වර්ෂ තුනේ බොහෝ කාර්තුවල දී ඝෘණ වර්ධන වේගයන් වාර්තා කළ නමුදු 2017 වර්ෂයේ දෙවන කාර්තුවේ සිට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන “රබර් වගා කිරීම” සහ “තේ වගා කිරීම” යන ප්‍රධාන ආර්ථික කටයුතු ද්විත්වය 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ද පිළිවෙලින් සියයට 22.7 ක් සහ සියයට 17.0 ක් වශයෙන් ඉහළ ධන වර්ධන වේගයන් වාර්තා කර තිබීම කැපී පෙනේ. එසේ ම “සත්ව නිෂ්පාදන” සහ “මිරිදිය ධීවර කටයුතු” ද පිළිවෙලින් සියයට 7.9 ක් සහ සියයට 4.8 ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. “වී වගා කිරීම”, “පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව”, “එළවළු වගා කිරීම”, “කරදිය මසුන් ඇල්ලීම”, සහ “කුළුබඩු වගා කිරීම” පිළිවෙලින් සියයට 32.5 ක්, සියයට 20.8 ක්, සියයට 6.0 ක්, සියයට 5.4 ක් සහ සියයට 4.1 ක් වශයෙන් ඝෘණ වර්ධන වේගයන් පෙර වර්ෂයේ තෙවන කාර්තුවට සාපේක්ෂව 2017 තෙවන කාර්තුවේ දී වාර්තා කර ඇත.
කර්මාන්ත ආර්ථික කටයුතු 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 27.8 ක දායකත්වයක් ලබා දී ඇති අතර වාර්තා කර ඇති වර්ධනය සියයට 1.9 කි. 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත ආර්ථික කටයුතු අතුරෙන් දෙවන වැඩි ම දායකත්වය (සියයට 7.4) ලබාදෙන “ඉදිකිරීම් කර්මාන්තය” පෙර වර්ෂයේ තෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 2.6 ක වර්ධනයක් වාර්තා කර ඇත. නිමැවුම් කර්මාන්ත කටයුතු 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සමස්තයක් වශයෙන් වාර්තා කර ඇති වර්ධනය සියයට 2.4 කි. නිමැවුම් කර්මාන්ත කටයුතු සදහා වැඩි දායකත්වයක් ලබාදෙන “රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන” සියයට 7.9 ක ඉහළ ධන වර්ධන වේගයක් වාර්තා කර ඇත. තව ද “ලෝහ නොවන ඛණිජ නිෂ්පාදනය”, “මුලික ලෝහ හා ව්‍යුවහාත්මක ලෝහ නිෂ්පාදනය”, “රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය” සහ “විදුලිය, ගෑස් හා උණුසුම් වායු සැකසුම් සැපයුම” පිළිවෙලින් සියයට 19.1 ක්, සියයට 10.5 ක්, සියයට 4.5 ක් සහ සියයට 3.4 ක් වශයෙන් සැලකිය යුතු ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත. 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 8.6 ක දායකත්වයක් සහිත “ආහාර පාන හා දුම්කොළ නිෂ්පාදනය” වාර්තා කර ඇත්තේ සියයට 2.4 ක පසුබෑමකි.
ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන අතුරින් දළ දේශීය නිෂ්පාදිතය වැඩිම දායකත්වය (සියයට 56.3) ලබාදෙන සේවා අංශය 2016 වර්ෂයේ තෙවන කාර්තුවට සාපේක්ෂව 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සියයට 4.3 ක වර්ධන වේගයක් වාර්තා කර ඇත. එහිදී “මුල්‍ය හා මුල්‍ය අතරමැදි සේවා”, “විදුලි සංදේශ සේවා”, “සෞඛ්‍ය සේවා” සහ “රක්ෂණ සේවා” යන සේවා අංශයේ ගාමක උප ආර්ථික ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 19.6 ක්, සියයට 19.5 ක්, සියයට 19.3 සහ සියයට 10.9 ක් වශයෙන් ඉහළ ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේ ම “නවාතැන්, ආහාර හා බීම වර්ග සැපයීම් ”, “පරිඝණක වැඩසටහන් උපදේශනය හා සම්බන්ධ කාර්යයන්”, “තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු” සහ “අනෙකුත් පුද්ගලික සේවා කටයුතු” යන උප ආර්ථික ක්‍රියාකාරකම් ද ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.
2017 වර්ෂයේ තෙවන කාර්තුවට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳ විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.