අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ආබියේ එමීර් රාජ්‍යයේ විදේශ ඇමැති ශ්‍රී ලංකා සංචාරයක

    නොවැම්බර් 19, 2017

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයේඩ් අල් නයන් මහතා සිය ආසියානු සංචාරයේ එක් පියවරක් වශයෙන් ඊයේ (18) ශ්‍රී ලංකාවට පැමිණියේය.

    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් අමාත්‍ය අල් නයන් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබිණි.

    සිය සංචාරය අතරතුර අමාත්‍ය අල් නයන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමු වූ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

    ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දේශපාලන කටයුතු, වෙළෙඳ කටයුතු සහ ආයෝජන අවස්ථා මෙම ද්විපාර්ශ්වික රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කෙරිණි. දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කරන, සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අපේක්ෂාවන් සම්බන්ධ මුලපිරීම් රැසකට අමාත්‍යවරු දෙපළ එකඟතාව පළ කළහ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙසට ශ්‍රී ලංකාව ඇරයුම් කළේය.


    විශේෂයෙන්ම, ඉන්දියානු සාගරයේ සාමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරියට ඒමට තමන් දරන ප්‍රයත්නවලට සහයෝගය ලබා දෙන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල මෙම ආයෝජන සිදු කරන ලෙස ශ්‍රී ලංකාව ආරාධනා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන

    ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් සම්බන්ධ ගැටලුවලට විසැඳුම් සෙවීමේ සංසදයක් වන   ශ්‍රී ලංකා-එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසමේ දෙවැනි වටය ඊළඟ වසරේ කොළඹදී පැවැත්වීමට තීරණය කළ අමාත්‍යවරු දෙපළ, වටිනාකම් එකතු කරන ලද ශ්‍රී  ලාංකික නිෂ්පාදනවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළෙඳපොළෙහි වැඩි ඉඩ ප්‍රස්ථා ලබාගැනීම ඇතුළු ආර්ථික සහයෝගිතාව සම්බන්ධ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළහ. 2020 ඔක්තෝබර් 20 වැනි දින සිට 2021 අප්‍රේල් 10 වැනි දින දක්වා ඩුබායි නගරයේ පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව සහභාගී වන බව අමාත්‍ය මාරපන මහතා ස්ථිර කළේය.


    කොන්සියුලර් කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන  අවබෝධතා ගිවිසුමකට සහ රේගු කටයුතු සම්බන්ධ සහයෝගිතාව හා අන්‍යොන්‍ය සහාය සම්බන්ධයෙන් වන ගිවිසුමකටද අමාත්‍යවරු දෙපළ අත්සන් තැබූහ.


    අමාත්‍ය අල් නයන් මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති අබ්දුල්හමීඩ් අල් මුල්ලා, නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී මක්ටුම් අල් මක්ටුම්, විදේශ අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය අංශ ප්‍රධානී ජමාල් අල් සුවයිදි, සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර ආසියා අංශයේ තෙවැනි ලේකම් මාර්යම් අසිසී යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

    විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, විදේශ රැකියා අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ, වාණිජ දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya