අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා ටෙලිකොම් Wi-Fi hotspot සේවාව හඳුන්වා දෙයි

    ජූනි 24, 2014

    ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු මෙන්ම විශාලතම සන්නිවේදන යටිතල පහසුකම් ජාල කි‍්‍රයාකරුද වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථමවරට අති නවීන වයි-ෆයි තාක්‍ෂණය හඳුන්වා දෙනු ලැබීය.


    මෙම පොදු වයි-ෆයි කලාප හඳුන්වාදීමේ නිල උත්සවය ජගත් විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය දා පින්නවල අලි අනාථාගාර භූමියේදී විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

    මෙරට ජනතාවට තවදුරටත් වර්ධනය වූ අධිවේගී බ්‍රෝඩ් බෑන්ඩ් අත්දැකීම් ලබාදීම සඳහා බ්‍රෝඩ් බෑන්ඩ් සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ නංවනු පිණිස අති නවීන වයර්ලස් බ්‍රෝඩ් බෑන්ඩ් තාක්‍ෂණයක් වන Wi-Fi hotspot සේවා ව්‍යාප්ත කිරීමට සමාගම අපේක්‍ෂා කරයි. එස්එල්ටී  Wi-Fi පාරිභෝගිකයිනගේ ජංගම පරිගණක (Mobile Computing) අත්දැකීම්වල විප්ලවීය වෙනසක් සිදුකරනු ඇතැයි ද සමාගම විශ්වාස කරයි.

    නිරන්තරයෙන් ම ඉතා කාර්ය බහුල ස්ථාන වන ගුවන්තොටුපළ, හෝටල් සහ Wi-Fi සබඳතා සහිත කැෆේ ව්‍යාපාරවලට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා තොග ව්‍යාපාරිකයින්ටද වඩාත් නවීන සන්නිවේදන පහසුකම් සැලසිය හැකි අගය එකතු කළ සේවාවක් වශයෙන් Wi-Fi පහසුකම් සැපයීමට බලාපොරොත්තුවේ. එස්එල්ටී වයි-ෆයි හොට්ස්පොට්ස් මගින් ව්‍යාපාරිකයින්ට පාරිභෝගිකයින් මෙන්ම අමුත්තන් තම ආයතන පරිශ‍්‍රයන් තුළ වැඩිවේළාවක් රැඳී සිටීමේ වාතාවරණයක් නිර්මාණය කර තම ව්‍යාපාර සඳහා ඔවුන් වඩවඩාත් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

    දැනට ශී‍්‍ර ලංකා ටෙලිකොම් බ්‍රෝඩ් බෑන්ඩ් සේවා පහසුකම් ලබාගන්නා පාරිභෝගිකයිනට ඔවුන් අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා කාර්යාලයේදී හෝ නිවසේදී භාවිත කරන මුරපදය (pass word) සහ පරිශීලක නාමය (user name) යොදා ගනිමින් ඕනෑම පොදු එස්එල්ටී වයි-ෆයි හොට්ස්පොට්ස් එකකට සම්බන්ධ විය හැකිය.  ගමනක යෙදී සිටින විට හෝ සාප්පු සවාරිවලදී හෝ වෙනත් ඕනෑම එවැනි අවස්ථාවක Wi-Fi  පහසුකම් සහිත ජංගම දුරකතනයකින් හෝ වෙනත් ඕනෑම එවැනි ස්මාර්ට් උපකරණයකින් එස්එල්ටී වයි-ෆයි හොට්ස්පොට්ස් සමඟ සම්බන්ධ විය හැකිය .

     

    මෙම ඉදිරි පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලි සංදේශ සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ අද රජයේ සංවර්ධන ඉලක්ක සමඟ ඉදිරියට යාමට තොරතුරු තාක්‍ෂණයේ වෛකල්පික සබඳතා මෙන්ම පුළුල්පරාස තවතවත් අවශ්‍යව ඇති බවත්, මෙරට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳව රජයේ ක‍්‍රමෝපායන් ඉතා පැහැදිලි බවත් ප‍්‍රකාශ කළේය. නාගරික ප‍්‍රදේශවලට පමණක් නො ව රටේ ඉතා දුර බැහැර ග‍්‍රාමීය ප‍්‍රදේශවලට පවා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා ඇතුළු දියුණු නව තාක්‍ෂණය හඳුන්වා දීමට රජය කටයුතු කරයි. කොළඹින් ඉතා දුර බැහැර පින්නවලදී Wi-Fi තාක්‍ෂණය හඳුන්වා දීම ඊට කදිම නිදසුනකි.

    විදුලි සංදේශ කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි සකී‍්‍රය දායකත්වය රටේ සංවර්ධනය උදෙසා බෙහෙවින් අවශ්‍ය වේ. ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි පොදු Wi-Fi හඳුන්වාදීම මෙරට විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ සන්ධිස්ථානයක් බව පැවසූ අමාත්‍යවරයා ක්‍ෂෙත‍්‍රයේ යහපත වෙනුවෙන් අතිනවීන තාක්‍ෂණය හඳුන්වාදීමේ ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම පිළිබඳව ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට සුබ පැතුවේය. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා විදුලි සංදේශ කර්මාන්තයේ සන්ධිස්ථානයක් වන මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ කැරියර්ගේ‍්‍රඩ් වයි-ෆයි පරිශීලකයිනට පෙරට වඩා මාධ්‍ය අන්තර්ගතයන්ට ප‍්‍රවේශ විය හැකි බවත් පාරිභෝගිකයිනට තම අත් දැකීම් පද්ධතිගතව ඉතා ඵලදායී සහ කාර්යක්‍ෂම අන්දමින් අන්‍යයන් සමඟ බෙදාහදාගත හැකි බවත්ය.


     කැරියර්ගේ‍්‍රඩ් වයි-ෆයි ජාලය මගින් සාප්පු හිමියනට ඍජුව ම ඉලක්ක කරගත් අලෙවි අවස්ථාවන් හිමිවන බව පැවසූ ඒ මහතා දිවයින පුරා පැතිරුණු ෆයිබර් ඔප්ටික් ජාලය මගින් සමාගමට ව්‍යාපාරික ස්ථානවලට මෙන්ම ජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ද කැරියර්ගේ‍්‍රඩ් වයි-ෆයි පහසුකම් සැපයිය හැකි බවත් පැවසීය. මෙම විසඳුම් ව්‍යාප්ත කිරීම සඳහා ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ක‍්‍රමෝපායන් සැලසුම් කර ඉතා ඉක්මනින්ම එවැනි ස්ථාන ගණනාවක් ආරම්භ කිරීමට බලා පොරොත්තුවේ. NGN තාක්ෂණය ADSL2+,VDSL2 කැරියර්ගේ‍්‍රඩ් වයි-ෆයි, ස්ථාවර සහ ජංගම 4LTE තාක්‍ෂණය හා ජාතික විදුලි සංදේශ යටිතල පහසුකම් ජාලය ඔස්සේ බ්‍රෝඩ් බෑන්ඩ් පහසුකම් ව්‍යාප්ත කරමින් බ්‍රෝඩ් බෑන්ඩ් පාදක කරගත් පාරිභෝගික සහ ව්‍යවසායික සේවා සැපයීම ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ එක් උපාය මාර්ගික සැලසුමකි.
     
    අනාගත දත්ත ඉල්ලුමට සරිලන යෝධ පද්ධති ධාරිතාව කෙරෙහි අවධානය යොමුකර ඇති ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දැනටමත් සී-මී-වී 5 සංදාම පද්ධතිය මගින් අනාගත ගෝලීය සබඳතා සඳහා ආයෝජනය කිරීමට පියවර ගෙන ඇත .

    මෙම අවස්ථාවට විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාතාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා ඇතුළු පිරිසක්  සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya