ඉදිරි වසර දෙකක කාලය තුළ රජයේ සියලු ගොඩනැගිලි සූර්ය බලය වැනි හරිත බලශක්ති ප්‍රභවයන්ට පරිවර්තන කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා ආරම්භක පියවර ලෙස මෙවර අයවැය මගින් රුපියල් මිලියන 350ක මුදලක් ඊට වෙන් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කඩිනම් ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යටතේ මෙම සූර්යබල ශක්තියට පරිවර්තනය කිරීම දිවයින පුරා ප්‍රචලිත කෙරෙනු ඇත.
බලශක්ති අර්බුදයට පිළිතුරක් ලෙස හරිත බල ශක්තිය සම්බන්ධයෙන් මුළු ලෝකයේ ම අවධානය යොමුව ඇති මොහොතක 2017 අයවැය මගින් ශ්‍රී ලංකාව ද ඊට සාර්ථක ප්‍රවේශයක් ලබා දී තිබේ.
දිනෙන් දින වැඩිවන බලශක්ති ඉල්ලුමට සාපේක්ෂව පවතින බලශක්ති ප්‍රභවයන් වේගවත් ව ඉහළ නොයාම, අද අප පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දී ඇති ගැටලුවකි. විකල්ප බලශක්ති යන වචන ව්‍යාහාරයට එක් වන්නේ මේ ඉහළ යන බලශක්ති ඉල්ලුමට යම් පිළිතුරක් ලෙස ය. බලශක්ති ඉල්ලුමට මේ පිළිතුර කෙතරම් සාර්ථකව ලබා දීමට අපට හැකි ද යන්න මත ඉදිරි සංවර්ධන ගමනේ වේගය රඳා පවතිනු ඇත.
අප රටේ විදුලි බල උත්පාදනය පවතින්නේ මෙගා වොට් 4,000ක පමණ මට්ටමක ය. රට තුළ සිදුවන වේගවත් සංවර්ධනය හේතුවෙන් 2020 වන විට විදුලිය අවශ්‍යතාව මෙගා වොට් 5,300ක් දක්වා ද, 2025 වන විටි එය මෙගා වොට් 7,500 දක්වා ද ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ. එබැවින් තවත් වසර කිහිපයකින් එල්ලවන මේ අභියෝගයට අද සිට ම මුහුණ දීම ඉදිරි දැක්මක් සහිත රජයක වගකීම වන්නේ ය.
රුපියල් 2,000කට වැඩි මාසික විදුලිය බිල්පතක් ගෙවන පාරිභෝගික ජනතාවට සිය බලශක්ති ප්‍රභවය හරිත බලශක්ති ප්‍රභවයක් වෙත පරිවර්තනය කර ගැනීම සඳහා රජය පහසුකම් සලසයි. මේ සඳහා රුපියල් 150,000ක් දක්වා වන ණය මුදලක් ලබා දීමට කටයුතු කෙරෙන අතර බැංකු පොලියෙන් 50%ක මුදලක් රජය විසින් දැරීමට අපේක්ෂා කෙරේ.
මේ සඳහා 2017 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,500ක් බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.