2016 වර්ෂයේ තෙවන කාර්තුව(ජූලි, අගෝස්තු, සැප්තැම්බර්) සදහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,270,171 ට ළඟා වෙමින් 2015 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් මිලියන 2,181,275 ට සාපේක්ෂව සියයට 4.1 ක වර්ධනයක් අත්කර ගෙන තිබේ.
2016 තෙවැනි කාර්තුවේ දී ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු පවත්නා මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙළින් සියයට 7.6 ක්, සියයට 30.5 ක්, සියයට 56.0 ක් සහ සියයට 5.9 ක් ලෙස වාර්තා වේ. තව ද මෙම කාර්තුවේ දී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සියයට 6.8 ක ඉහළ වර්ධන වේගයක් වාර්තා කරනු ලැබ ඇති අතර සේවා අංශයේ ආර්ථික කටයුතු සියයට 4.7 ක සැළකිය යුතු වර්ධන වේගයක් වාර්තා කර ඇත. නමුත් කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් වාර්තා කර ඇත්තේ සියයට 1.9 ක ඍණ වර්ධනයකි.
2015 තෙවැනි කාර්තුවට සාපේක්ෂව 2016 තෙවැනි කාර්තුවේ දී ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින් “වන වගා සහ දැව”, “මිරිදිය ධීවර කටයුතු”, “කරදිය ධීවර කටයුතු” සහ “සත්ත්ව නිෂ්පාදන” යන අංශ පිළිවෙලින් සියයට 30.0ක් , සියයට 20.8ක්, සියයට 7.4 ක් සහ සියයට 6.9 ක් යනාදී වශයෙන් කැපී පෙනෙන වර්ධන වේගයන් වාර්තා කර ඇත. මේ අතර “පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව” සහ “පලතුරු වගාව” පිළිවෙලින් සියයට 1.3 ක් සහ සියයට 0.1 ක් වශයෙන් සුළු වර්ධන වේගයන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් 2016 තෙවන කාර්තුවේ දී රටේ පැවති දැඩි වියළි කාලගුණික තත්වය නිසා ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු වැඩි ගණනක් පසුබෑමට ලක්වී ඇත. “තේ වගා කිරීම”, “වී වගා කිරීම”, “රබර් වගා කිරීම” , “කුළුබඩු වගා කිරීම” සහ “එළවළු වගා කිරීම” යන ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 20.4 ක්, සියයට 20.0ක්, සියයට 17.8ක්, සියයට 9.0 ක් සහ සියයට 7.2 ක් වශයෙන් ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.
2016 තෙවන කාර්තුවේ දී පවත්නා මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 30.5 ක දායකත්වයක් ලබාදෙන කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු ආර්ථිකයේ කෘෂිකාර්මික හා සේවා අංශ අභිබවා සියයට 6.8 ක වර්ධන වේගයක් අත්පත් කර ගෙන තිබේ.කර්මාන්ත අංශය තුළ ඉහළ වැදගත්කමක් උසුලන “ඉදිකිරීම් කර්මාන්තය” සියයට 14.4 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. එසේම “පතල් හා කැනීම් කර්මාන්තය” සියයට 13.5 ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත. තව ද නිමැවුම් කර්මාන්ත කටයුතු මෙම කාර්තුවේ දී වාර්තා කර ඇති වර්ධනය සියයට 2.7 කි.
ආර්ථිකයේ නිමැවුම් කර්මාන්ත අතුරෙන් කර්මාන්ත අංශයේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩි ම දායකත්වය ලබා දෙන “ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාදනය” සියයට 2.6 ක වර්ධනයක් වාර්තා කර ඇත. මේ අතර “රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන” සහ“රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තය” පිළිවෙලින් සියයට 3.3 ක් සහ සියයට 5.8 ක් යනාදී වශයෙන් සතුටුදායක වර්ධන වේගයන් වාර්තා කර ඇත. තව ද මෙම කාර්තුවේ දී “විදුලිය, ගෑස්,වාෂ්ප සහ වායු සැකසුම් සැපයුම ” වාර්තා කොට ඇති මූර්ත එකතුකළ අගයේ ඉහළ යාම සියයට 7.8 කි.
ආර්ථිකයේ සියලුම අංශ අතුරෙන් සමස්ත දළදේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වය ලබා දෙන සේවා අංශයේ ආර්ථික කටයුතු 2015 තෙවන කාර්තුවට සාපේක්ෂව 2016 තෙවන කාර්තුවේ දී සියයට 4.7ක වර්ධන වේගයක් ලඟා කරගෙන ඇත. සේවා අංශයේ මෙම වර්ධනයට රුකුල් දෙන “මුල්‍ය හා මුල්‍ය අතරමැදි සේවා කටයුතු” ,“රක්ෂණ කටයුතු” , “විදුලි සංදේශ” , “අධ්‍යාපන සේවා”, “තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු” යන සේවා ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 12.9ක් , සියයට 12.3ක් , සියයට 11.7ක් සහ සියයට 10.2 ක් සහ සියයට 4.6 ක් වශයෙන් තව දුරටත් ඉහල වර්ධන අනුපාතිකයන් 2016 තෙවන කාර්තුව තුළදී ද වාර්තා කර ඇත.
2016 තෙවන කාර්තුවට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇත.