ලෝක සංඛ්‍යාන දිනය නිමිත්තෙන් ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් ලේකම් වජිර නාරම්පන මහතා අද (16) මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2010 වර්ෂයේ දී ලෝක සංඛ්‍යාන දිනය ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව 2015 ජූනි මස රැස් වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් “නිවැරදි දත්තවලින් වඩා සරු දිවියක්“ යන තේමාව යටතේ සෑම වසර 5කටම වරක්ම ඔක්තෝබර් 20වන දිනය ලෝක සංඛ්‍යාන දිනය ලෙස සැමරිමට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
මාධ්‍ය කලාව යන දිශාව වෙනස් කර රටට අවශ්‍ය තොරතුරු සංඛ්‍යා ලේඛන ඵලදායී ලෙස ජනතාවට ප්‍රක්ෂේපණය කිරීමේ පරම වගකීම ජනමාධ්‍යවේදීන් සතුව පවතින බව වජිර නාරම්පන මහතා ප්‍රකාශ කළේය.
රටක සංවර්ධනයට, රටේ යහපාලනයට සහ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට සංඛ්‍යා ලේඛන කෙතරම් දුරට ඉවහල් වෙනවාද යන කාරණය ඉතා වැදගත් බව ද සංවර්ධනයත් ජන ජීවිතය නඟා සිටුවීමත් දේශපාලන ස්ථාවරත්වයටත් යහපාලනය ස්ථාපනය කිරීමත් සඳහා වූ ක්‍රියාවලියේ දී සංඛ්‍යා ලේඛන කෙතරම් දුරට වැදගත් වෙනවාද යන හේතුවෙන් ජනතාවට තොරතුරු ලබා දීමේ ක්‍රියාවලියේ දී ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබඳව අද මේ කරන සාකච්ඡාව ඉතා වැදගත් බවත් ඒ මහතා පැවසීය.
තොරතුරු ලබා දීමේදී සහ ජනතාව දැනුවත් කිරීමේ දී විශේෂයෙන්ම නිවැරදිව තොරතුරු ලබා දීමේ දී ජනමාධ්‍යවේදීන්ට විශාල කාර්යය භාරයක් තිබෙන බවත් මෙම කාර්යභාරය ඉටු කිරීමේ දී සංවර්ධන කාර්ය භාරය ඉටුවෙන බවත් එහිදී ජනමාධ්‍යවේදීන්ට මිල කළ නොහැකි කාර්යයත් තිබෙනවා යැයි ද ලේකම්වරයා අවධාරණය කළේය.
අද ඊසි ජර්නලිස්ම් (Easy Journalism) සහ ගොසිප් ජර්නලිස්ම් (Gossip Journalism) වලින් පත්තර පිටු පුරවලා තිබෙන හැටි දැකගත හැකි බව පැවසූ නාරම්පන මහතා ප්‍රකාශ කළේ විග්‍රහ කර ලියන පුවත්පත් අඩු බවත් මාධ්‍යවේදීන් ලෙස අද පෑන භාවිතා කරනුයේ හැඟීම් වලට ඉඩ දී බවත් වාර්තාකරණයේ දී Facts, Feelings, Faith (කරුණු, හැඟීම්, විශ්වාසය) යන කරුණු පිළබඳව අවධානය යොමු කළ යුතුම බවත් ඔහු පැහැදිලි කළේය.
ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නිලධාරීන්, ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යානඥවරු ඇතුළු නිලධාරීන්, මුද්‍රිත/විද්‍යුත්/වෙබ් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.