වායු දූෂණය, කසළ කළමනාකරණ, හදිසි ගංවතුර වැනි තත්වයන් ඇතිවීමට මූලිකම හේතුව වනුයේ නාගරිකව ගොඩනැගී පැවතී හරිතමය තත්වයන්හි අනවශ්‍ය ඉදිකිරීම් ආරම්භ කරලීමයි. තවදුරටත් මෙම තත්වය ලංකාව වැනි රටක පැවතුනහොත් ප්‍රජා සෞඛ්‍ය තත්වයන්ට හිතකර නොවනු ඇත. කොළඹ මෙයට දිය හැකි හොඳම නිදර්ශනයයි. එසේනම් මෙම බිඳ වැටී ඇති පාරිසරික තත්වයන් කඩිනමින් හැකි උපරිමෙන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුය. යුරෝපය තුළ මේ වන විට ක්‍රියාත්මක හරිත නගර නොඑසේනම් Green Stream හෙවත් හරිත ක්ෂේම භූමි (Green Stream) ජනප්‍රිය සංකල්පයක් බවට පත්ව තිබේ.
ගෝලීය ජනගහණය වර්ධනය වීම, තාක්ෂණික ගම් නගර ප්‍රවර්ධනය සහ පාරිසරික දූෂණය ඉහළ යාමත් සමඟින් එම තත්වයට පිළියම් අවශ්‍ය විය. නාගරික ජනගහණය වර්ධනය වීමත් සමඟින් තවදුරටත් වනගහණය ක්ෂය වීම විනා එය ප්‍රවර්ධනයට ක්‍රියාකිරීම නිශ්ඵලදායී බව යුරෝපීයන් තීරණය කොට හමාරය. මෙරට 29% ක්වන වනගහණය 32% ක් දක්වා වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය බව පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කිරීම සතුටුදායක පුවතකි. එමඟින් සුභදායී ආකල්ප ඉදිරියේදී අපට බලාපොරොත්තු උපදවයි. නමුත් ජනාකීර්ණ වූ කොළඹ වැනි තදාසන්න නගර පරිසර හිතකාමී තත්වයට පත් කිරීමට නම් මහල් නිවාස ප්‍රමුඛ ජනාකීර්ණ ක්‍රම විධි නැවත යාවත්කාලීන කළ නොහැක. එසේ නම් සිදු විය යුත්තේ එම ජනාකීර්ණ නගර ආශ්‍රීතව හරිත නගර නොඑසේනම් ක්ෂේම භූමී ප්‍රවර්ධනයයි. පරිසරය හිතුමිතුරු වන්නේ එවිටයි.
ආසියානු සංවර්ධන බැංකුව විසින් 2012 වර්ෂයේ නොවැම්බර් මස ප්‍රකාශයට පත් කළ Green Cities සඟරාව තුළ මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කොට තිබේ. මිචෙල් ලින්ෆිල්ඩ් (Michel Linfield) සහ ෆ්ලෝරීන් ස්ටෙන්බර්ග් (Florien Steinberg) මේ රචනා කිරීම සඳහා දායකත්වය දක්වා තිබේ.ආසියානු කළාපය තුළ ජනාකීර්ණ නගර වඩාත් තිරසාර පදනමකින් හරිත නගර දක්වා ප්‍රවර්ධනයට අවශ්‍ය පදනම සැකසිය යුතු ආකාරය මෙමඟින් වඩාත් හොඳින් විශ්ලේශණය කොට තිබේ.
මෙම උදෘතයන් සෑම අතින්ම ඉදිවන කොළඹ පුරයේ නව නගර නිර්මාණ වෙත වඩාත් පහසුවෙන් ප්‍රායෝගිකව උපයෝගීකොට ගත හැක. ආසියානු සංවර්ධන බැංකුව විසින් රචිත මෙම සඟරාව තුළ ඒ සඳහා නිර්ණායක කිහිපයක් හඳුන්වා දී තිබේ. තාක්ෂණිකව ගොඩනගනු ලබන හරිත නගර, ජනාකීර්ණ හරිත නගර, බලශක්ති උත්පාදිත හරිත නගර සහ ප්‍රවාහන ක්‍රමයන් ලඝු ගත කොට ඇත. ජල පෝෂිත නගර, අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවිධි, පරිසර සහ අවසානයේ ස්මාර්ට් සිටි (Smart City) හෙවත් ඉතාමත් දැකුම්කලු පාරිසරික හිතවත්කම් ගොඩනැගුණ ක්ෂණික නගර මෙසේ හඳුන්වා දී ඇත.මෙම සංකල්ප හඳුන්වාදීමේ විෂයෙහිලා ගොඩනැගෙන පාරිසරික හිතවත්කම් නගර මිනිසාට මෙන්ම සත්වයන්ටද හිතකර තත්වයන් උදාකරයි.
හොංකො, බැංකොක්, ක්වාලා ලාම්පූර්, ෂැංහායි, වැනි නගර අද වන විට මෙම පරිසර ප්‍රතිපත්ති මත සිය නාගරික සංවර්ධනය සිදු කරයි. එහිදී නාගරික පවුල් දැනුවත් කිරීම හා නගරාශ්‍රිතව වෙනම වෙන් කොට ඇති කුඩා වනාන්තර හා රෝපණ වැඩසටහන් ජනප්‍රිය වේ. එමෙන්ම ජලාශ්‍රිතව පවතින තෙත් බිම් හා වගුරුබිම් වටා ගොඩනගනු ලබන සංවේදී පරිසර කලාප විශේෂ ආවරණ යොදා සුරක්ෂිත කිරීම මෙම නගරයන්හි සුලභ දර්ශනයකි. එමෙන්ම රෝහල් හා රාජ්‍ය ආයතන මූලික කොට ගෙන සැකසෙන විශේෂ ශාක ව්‍යාපෘති අතිශය ජනප්‍රිය වැඩටහනක් බවට පත්ව තිබේ. නගර මතින් ගලා බසිනා ජල මාර්ග දෙපස දක්නට හැකි ජලාශ්‍රිත ශාක පද්ධති මෙහිදී බහුලව දැකිය හැකිය. වාහන මඟින් පිටවන දුම් සහ රසායනික වායු දැඩි බලපෑමක් නාගරික පරිසරයට සිදු නොවීම මෙම නගරයන්හි දක්නට ලැබෙන විශේෂත්වයයි.
හරිත නගර සැළසුම් කරලීමට අවශ්‍ය මූලික කරුණු විවිධ අංශයන් මඟින් හඳුනාගත හැකිය. අවම කාබන් පිරිවැය සහිත ප්‍රවාහන පද්ධතියක්, හරිත ආයෝජන ක්‍රමවේද, හරිත බලාගාර තාක්ෂණ, වගා කටයුතු සිදුවන නගර සැළැස්ම සහ හරිත අධ්‍යාපනික කව මෙම මූලික කාරණ මත පදනම් වී ඇත. මෙමඟින් යටිබිම්ගතව ක්‍රමානුකූලව සැකසෙන හරිත නගර පරිසරයක් වසර කිහිපයකින් ලබා ගත හැකි අතර, වඩාත් සිදු විය යුත්තේ ප්‍රජා ආකර්ශනය ලබා ගැනීමයි. මෙරට පවතින කාර්ය බහුල වේගවත් නගර රැසක්ම අද වන විට ගොඩනැගිළි පමණක් මූලික කරගත් ප්‍රමුඛ සංවර්ධනයට මුල් තැන ලබා දී ඇත.
ගාල්ල, මාතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල වැනි කාර්ය බහුල නගර රැසක්ම ස්වකීය හරිත ප්‍රතිපත්ති ඉවතලා ඇති බව පැහැදිළිය. ඒ වෙනුවට රථ වාහන සහ ගොඩනැගිළි වලින් පමණක් සමන්විත ඊනීයා කාර්මික සංවර්ධන ප්‍රතිපත්තියකට එක්රැස්වී සිටී. ප්‍රජාව දැනුවත් කිරිම හෝ එකඟතාවයන් මත සිදු කළ හැකි වනවගා කාබනික වූ නිල ක්‍රමවේදයන් මග හැර ගොස් තිබේ. යුරෝපය තුළ නගරාශ්‍රිත ප්‍රජාව ස්වකීය නිවෙස් තුළ හා නිවෙස් වටා වගා කරනු ලබන එළවළු හෝ පළතුරු වගාවන් වැනි සරළ ක්‍රමවේද පවා මෙරට නගර වාසීහු අතහැර දමා ඇත.
කෘෂිකාර්මිකව ගොඩනැගෙන ආර්ථික රටාවකින් හෙබි ලංකාව වැනි රටකට මෙවැනි වගා කටයුතු අලුත් වූවක් නොවේ. හරිත නගර සංකල්පය තුළ අවම කාබන් දහන වායු ප්‍රවාහන සේවය සහ ගෙවතු වගාව අතිශය ජනප්‍රිය සංකල්පයකි.
හොංකොං සහ ජපානයේ ටෝකියෝ නගර ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම සංකල්ප දැඩි නීතී විධි විධාන ආශ්‍රිතව පවතී. E- ප්‍රවාහන සේවයන් යටතේ පාපැදිය ජනප්‍රිය ප්‍රවාහන උපාය මාර්ගයක් මෙන්ම සෞඛ්‍යමත් ප්‍රවාහන සේවයක් බවට නගර වාසීහූ පිළිගෙන ඇත. නගරය පුරා ක්‍රියාත්මක ප්‍රවාහන ජාලය එකිනෙක සම්බන්ධ වන අතර, මාර්ග අනතුරු සහ වායු දුෂණය මෙන්ම තදබදය වැනි තත්වයන් බැහැර කර තිබේ. නගරයෙන් පිටත පෞද්ගලික ප්‍රවාහන සේවා ගාල් කර තැබීමත් පසුව නගරයට පැමිණීම සඳහා පොදු ප්‍රවාහන සේවා ප්‍රවර්ධනයට රජය සෘජුව මැදිහත් වී ඇත.
එමෙන්ම හරිත ආයෝජන අවස්ථා සහ හරිත රැකියා හෙවත් Green Job ජපානය වැනි රටවල්හි ජනප්‍රිය ක්‍රමවේදයන්ය. Circle Economy සහ Eco – Towns සංකල්ප එහි ප්‍රතිඵලයන්ය. එම ව්‍යාපෘති ප්‍රතිපත්තියක් ලෙස යුරෝපය පුරා අද වන විට අතිශය ජනප්‍රිය වී තිබේ.
නගරාසන්නව ඇති කරනු ලබන හරිත පටි හෙවත් Green Belt වැනි සංකල්ප පිළිබඳව අසන ඉන්දියාව වැනි බහුල ජනාවාස නගරයන් පවතින රටවලදී පවා සාර්ථක අත්හදා බැලීම් වලට ලක්ව තිබේ. ජලය, ගොඩබිම, වනාන්තර හා ශාක පද්ධති මෙන්ම වන ජීවීන් යන විවිධ පාරිසරික ලක්ෂණයන්ගෙන් සැඳුම්ලත් හරිත නගර ඉදිවෙමින් පවතී. මංමාවත් සිසාරා සැකසෙන හරිත වැස්ම Green Tent වැනි සංකල්ප අධිවේගී මාර්ග විෂයෙහිලාද යොදා ගැනීමට සමත්ව සිටී.
නෛතිකව ඒ වෙනුවෙන්ම සැකසුණු නීතී මාලාවකින් සුරක්ෂිත හරිත නගර ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වන අතර තරුණ සහ දුවා දරුවන් අතර අතිශය ජනප්‍රිය වී තිබේ. නිදහස, විනෝදය, ස්වභාවික සෞන්දර්ය සොයා යන නිදහස්කාමී මිනිසුන් බොහොමයක් මෙම හරිත නගර අතර දෛනිකව සැරිසරයි. ආකල්ප වඩාත් වර්ධනය කරලීම වෙනුවෙන් පවතින ජංගම පුස්තකාල පවා මෙම හරිත නගර තුළ ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබේ. වාර්ෂිකව වර්ෂාපථනය හිමි, සාරවත් භූමියක පිහිටා ඇති සෞම්‍ය දේශගුණික තත්වයන් යටතේ පවතින ශ්‍රී ලංකාව වැනි රටක මෙම හරිත නගර ප්‍රවර්ධනය ඉතා අපහසු වූවක් නොවේ. අවශ්‍ය මේ සඳහා මඟපෙන්වීමක් පමණි. නව ආණ්ඩුව එවැනි තත්වයන් සංවාදයට ගෙන ඇති අතර එම ප්‍රතිපත්ති සකස්වීම පිළිබඳව කාර්මික කරණයෙන් ඔද්දල් වූ සිත් ඇති පාරිසරික සෞන්දර්යවාදී හිතකාමී හු අවධාරණයෙන් බලා සිටිති.
- සහන් හේවා ගමගේ -