සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරි පිටි මිල අඩු කරයි

    සැප්තැම්බර් 10, 2024

    රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් ද කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 190කින් ද අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මිල්කෝ සමාගම අද (10) සිටම මිල අඩු කළ කිරිපිටි වෙළෙඳපලට නිකුත් කළ ද දැනට වෙළෙඳපළේ ඇති තොග පැරණි මිලටම පවතින හෙයින් ලබන සතියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව  දැනට වෙළෙඳපළේ රුපියල් 1125කට අලෙවි  කරන හයිලන්ඩ් කිරි පැකට්ටුවක මිල රුපියල් 1050 දක්වා අඩු කිරීමටද , හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 190කින් අඩු කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    අද (10) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    මිල්කෝ සමාගම , පසුගිය වසර තුළ දෛනික කිරි එකතු කිරීම හා නිෂ්පාදනය අඩාල වී තිබුණත් මේ වනවිට මුල්‍ය ස්ථාවරත්වය හා නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම හේතුවෙන් ලාබ උපයන රාජ්‍ය ආයතනයක් බවට එය පත්ව ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම හයිලන්ඩ් කිරි දේශීය නිෂ්පාදනයක් වශයෙන් ඉහළම ගුණාත්මකභාවයෙන් යුක්ත වීම මෙන්ම මිල්කෝ සමාගම විසින් නිපදවන අනෙකුත් නිෂ්පාදන සියල්ල ද ඉතාමත් උසස් මට්ටමකින් පැවැතීම නිසා වෙළෙඳපල තුළ ඒ සමග තරඟ කරන අනෙකුත් ආයතන පසුබෑමකට ලක් ව තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ නිසා ඔවුන් සතුව පවතින අමු කිරි ද මිල්කෝ සමාගමට අලෙවි කිරීමේ ප්‍රවණතාවයක් පවතී. එමෙන්ම දැනට මුල්‍යමය වශයෙන් ද මිල්කෝ  සමාගම ස්ථාවර වී ඇති හෙයින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමේ පියවරක් වශයෙන් කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

    පසුගිය මාස හය තුළ මිල්කෝ සමාගමේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් තිබෙන බවත් මෙම වසරේ ජනවාරි මාසයේ මිල්කෝ සමාගමේ දෛනික කිරි එකතු කිරීම ලීටර් 71,760ක් වූ අතර සැප්තැම්බර් මාසයේ පළමු සතිය තුළ එම ප්‍රමාණය ලීටර් 186,842 දක්වා ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී අදහස් පළ කළ මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා  මිල්කෝ සමාගම සතු නිෂ්පාදන තොග වටිනාකම රුපියල් බිලියන 2.5ක්  වන අතර දැනට ග්‍රෑම් 400 කිරි පැකට් මිලියන 02කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත්, එම තොගය ඉදිරි මාස 04 සඳහා ප්‍රමාණවත් වන බවත් අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya