සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රුධිර පාරවිලයන සේවාව මධ්‍යගත හා සුවිශේෂී සේවාවක්

    සැප්තැම්බර් 04, 2024

    මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මධ්‍යගත සේවාවක් වීම හේතුවෙන්ම ජාතික රුධිර පාරවිලයන සේවාව ඉතාම සුවිශේෂී සේවාවක්ද වන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

    වෛද්‍යවරයා මේ බව පැවසුවේ 2024 වර්ෂය සඳහා ලෝක රුධිර දායකයන්ගේ දිනය තේමාව නිමිත්තෙන් අද (04) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
    ජාතික රුධිර පාරවිලයන ආයතනය ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඉතාමත් සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකරන ආයතනයක් බවද, එනම් රටම ආවරණය වන පරිදි එමගින් සේවාවන් ක්‍රියාත්මක කරන අතරම මෙය මධ්‍යගත සේවාවක් ලෙස ක්‍රියාත්මක වන බවද පැවසුවේය.
    මධ්‍යගත සේවාවක් යනුවෙන් අදහස් කරනුයේ මෙරට සමස්ථ සෞඛ්‍ය පද්ධතියම රෝහල් ආශ්‍රිතව සෞඛ්‍ය ප්‍රතිකාර අංශය ක්‍රියාත්මක වීමත්, තවත් සුව්ශේෂී අංශයක් වන රෝග නිවාරණ අංශයත් යන දෙඅංශයම සම්බන්ධ වන ආයතනයක් වීම බවද පැහැදිලි කළේය.
    ජාතික රුධිර පාරවිලයන සේවයෙහි රුධිර බැංකු රෝහල් වල ක්‍රියාත්මක වීම හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවාව සත්කාරක සේවාවන්ට එසේත් නැතිනම් රෝගීන්ට ප්‍රතිකාර කරන සේවාවන්ට පමණක් ලඝු වූ සේවයක් යැයි බොහෝ දෙනා සිතන බවද ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
    මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා එනම් රෝගීන්ට ප්‍රතිකාර කරගැනීමට අවශ්‍ය රුධිර සංඝටක ලබාදීමට මෙරට නිරෝගී ජනතාව සුව්ශාල දායකත්වයක් ලබාදෙන බව සිහිපත් කළ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා එම සේවාව ලබාගැනීමට සමාජයේ සාමාන්‍ය ජනතාවත් සමග විශාල සම්බන්ධීකරණයක් පවත්වාගෙන යා යුතු බවද පෙන්වා දුන්නේය.
    මෙසේ සත්කාරක සේවාවත්, නිවාරණ සේවාවත් යන 02ම එකට සම්බන්ධ කරන පාලමක් ලෙස ක්‍රියාත්මක වීම නිසා මෙය සුවිශේෂී වන බවද, එමෙන්ම මෙම සේවාවන් රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියට අයත් වුවද, එය රජයේ රෝහල් වල පමණක් නොව පුද්ගලික අංශයේ රෝහල් වලටද එක හා සමානව රුධිර සංඝටක සපයමින් එහි සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමටද දායකත්වය සපයන බව අවධාරණය කළේය.
    මෙය රජය සතු සේවාවක් වන අතර අරමුදල් රාජ්‍ය මූල්‍ය ක්‍රමය හරහා ලැබෙන බවද පෙන්වා දුන් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා 2007 වසරේදී සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා සමගාමීව පාර්ලිමේන්තුගත කළ ජාතික රුධිර ප්‍රතිපත්තිය මගින් නීත්‍යනුකූල වලංගුභාවය ලැබී ඇතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    මීට වසර කිහිපයකට පෙර ශල්‍යකර්මයක් හෝ දරු ප්‍රසූතියක් සඳහා රෝහල්ගත වූ රෝගියෙකුගේ ඥාතියෙකුට අනිවාර්යයෙන්ම ලේ දන් දීම සඳහා නිරෝගී පුද්ගලයන් දෙදෙනෙකු හෝ හතරදෙනෙකු රැගෙන එන ලෙසට පත්‍රිකාවක් රෝහලෙන් හිමිවන බවද පැවසූ වෛද්‍යවරයා එසේ නොවුණහොත් ඔවුන්ට අදාල රෝහලෙන් රුධිර සේවාව ලබාගැනීමේ ගැටලුවක් පවතින බවද සඳහන් කළේය.
    වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇතැයිද, 2012 න් පසු එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කළ බවද පැවසූ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා අද වන විට 100%ක් ස්වෙච්ඡාවෙන් එනම් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව රුධිර දානය සපයන රුධිර දායකයින්ගේ දායකත්වය මත 100%ක්ම මෙම පද්ධතිය පවත්වාගෙන යන බවද අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya