2024 මුල් මාස 06 තුළ පමණක් සංචාරකයින් 364,521 ක් පැමිණ ඇති අතර ඒ අතරින් 40%ක්ම විදේශ සංචාරකයින් බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
වනජීවී,වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කර සිටියේ 'දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (28 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනජීවී, වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේද පැවසීය.
පසුගිය වසර දෙකට සාපේක්‍ෂව 2024 වසරේදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පවතින සංචාරක ආකර්ෂණ ගමනාන්තවලට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගේ පැහැදිලි වැඩි වීමක් දකින්න ලැබෙනවා. ඒ අනුව 2022 වර්ෂයේදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පවතින සංචාරක ආකර්ෂණ ගමනාන්තවලට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 289,405 වූ අතර, 2023 වර්ෂයේ දී එම සංඛ්‍යාව 444,053 ක් ලෙස වාර්තා වුණා. 2024 මුල් මාස 06 තුළ පමණක් සංචාරකයින් 364,521 ක් පමණ පැමිණ තිබෙනවා.
මේ අතරින් 2022 වර්ෂයේදී එම ස්ථානවලට පැමිණි මුලු සංචාරකයින්ගෙන් 19.8% ක් විදේශීය සංචාරකයන් වනවා. 2023 වර්ෂයේදී 27.8% විදේශීය සංචාරකයන් වූ අතර, 2024 වර්ෂයේ මේ දක්වා එය 40%ක් බව කිව යුතුයි.
මෙරටට විදේශ විනිමය උපයා දෙමින් ආර්ථිකයට ශක්තියක් වීමේ අරමුණින් පාරිසරික සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට අදාළ රෙගුලාසි සකස් කොට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමටත් ඊට අදාළ නීතිමය සංශෝධනයන් සිදු කිරීමටත් අප කටයුතු කර තිබෙනවා.
ඒ අනුව 2023 වසරේදී නව සංචාරක ආකර්ෂණයක් ලෙස හෙක්ටයාර 2500කින් සමන්විත ගල්ඔය පාරිසරික උද්‍යානය ජනතාව සඳහා විවෘත කරනු ලැබුවා. තවද දැනට සංචාරක ආකර්ෂණය දිනා ඇති සිංහරාජ වනාන්තරයේ කුඩව දොරණ ඇල පිවිසුම් දොරටුවේ තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකර සංචාරකයන් සඳහා විවෘත කර තිබෙනවා.
එසේම 2024 වසරේදී නකල්ස් සංචාරක වනාන්තරයේ ඉලුක්කුඹුර ප්‍රදේශයේ මානිගල වන නිවහන ඉදිකර සංචාරකයන් සඳහා විවෘත කරන ලද අතර මහනුවර උඩවත්තකැලේ සංචාරකයන් සඳහා පාපැදි මාවතක් විවෘත කරනු ලැබුවා. බණ්ඩාරවෙල ඇල්ල වන නිවහන , පුත්තලම දිස්ත්‍රික්කයේ ගල්විල පාරිසරික උද්‍යානයේ නිවහන සංචාරකයන් සඳහා විවෘත කිරීමත් මේ වසරේදී සිදු කිරීමට හැකි වුණා.
මීට අමතරව විදේශීය සංචාරකයන් මුහුණ දෙන සනීපාරක්‍ෂක ගැටලු විසඳීම සඳහා සිංහරාජ, කන්නෙළිය, හුරුළු, නකල්ස්, උඩවත්තකැලේ යන විදෙස් සංචාරකයන් බහුල වශයෙන් පැමිණෙන ස්ථානවල විදේශීය ප්‍රවේශපත්‍රය හිමි සංචාරකයන්ට පමණක් වෙන්වූ සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කර තිබෙනවා. මෙම සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේ පහසුකම් ද මේ වන විට ක්‍රියාත්මකයි.
එසේම මේ වන විට 29%ක පවතින වන ගහනය වසර 2030 වසර වන විට 32% දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ගෙන ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ අනුව අප යටතේ ගැසට් වී නොතිබුණ හෙක්ටයාර 144,000ක් පමණ අලුතින් වනාන්තර ලෙස අත්පත් කර ගැනීමටද බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව වනාන්තරවලින් බැහැරව රුක් රෝපණය සඳහා ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් වනාන්තර ප්‍රතිරෝපණ හා වෘක්‍ෂාවරණ පනත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර එයට අදාල කෙටුම්පත මේ වන විට සකස් කර තිබෙනවා.
එසේම වනාන්තර ආරක්‍ෂා කර ගැනීම පිණිස නවීන තාක්‍ෂණය යොදා ගනිමින් ඩ්‍රෝන භාවිතා කිරීම මෙම වසරේදී ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල රක්‍ෂිතභාවයට පත් නොකරන ලද වනාන්තර ආරක්‍ෂා කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයන් අනුගමනය කරමින් වනාන්තර මායිම් හඳුනාගෙන එම වනාන්තර රක්‍ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, ඒවායේ මායිම් වටා මායිම් කණු සිටුවා ස්ථීර වනාන්තර පද්ධතියක් ස්ථාපිත කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.
තවද කඩොලාන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් අප ගත් පියවර ජාත්‍යන්තර ඇගයීමටද පාත්‍ර වී තිබෙනවා. පසුගිය වසර 02 තුළ කඩොලාන හෙක්ටයාර 326ක් ස්ථාපනය කර ඇති අතර, මෙම වසරේ එක්සත් ජාතීන්ගේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපන දශකයේදී ශ්‍රී ලංකාව විසින් සිදුකළ කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා එක්සත් ජාතීන්ගේ Flagship සම්මානය ශ්‍රී ලංකාවට හිමි වුණා.
අප අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවද රටේ පැවති ආර්ථික අර්බුදකාරී තත්වය අහිතකර ලෙස බලපෑ බව කිව යුතුයි. එම වසර කිහිපය තුළ ආදායම් තත්ත්වය පහත් මට්ටමක පැවතියද 2023 වර්ෂයේ එම තත්ත්වයෙන් මිදී රුපියල් මිලියන 1089.97ක ආදායමක් උපයා තිබෙනවා. 2023 වර්ෂයේ ජූනි මස අවසන් වන විට ලබා තිබූ ආදායම රුපියල් මිලියන 436.71ක් වන අතර 2024 වර්ෂයේ ජූනි මස අවසන් වන විට රුපියල් මිලියන 728.60ක ආදායමක් උපයාගැනීමට සමත්ව තිබෙනවා. එය පෙර වර්ෂය හා සසඳන විට 66%ක වර්ධනයක් බව කිව යුතුයි.
එසේම රාජ්‍ය දැව සංස්ථාවද 2024 වසරේ මේ දක්වා ලබා ඇති රුපියල් මිලියන 2000ක ආදායම අනුව වසර අවසානය වන විට පසුගිය වසරට වඩා ශුද්ධ ලාභයක් වාර්තා කරනු ඇති බව විශ්වාසයි.
තවද අප රටේ විශාල ගැටළුවක්ව පවතින වන අලි උවදුර මැඩ පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් 2023 වසරට වඩා මිනිස් හා වනඅලි මරණ අඩු කර ගැනීමට හැකි වී ඇති බවකිව යුතුයි. මේ වෙනුවෙන් දැනට ඉදිකර ඇති විදුලි වැට කිලෝ මීටර් 5390 නඩත්තු කිරීම සඳහා සේවකයින් හාරදහස් හත්සියයකට වැඩි සේවක පිරිසක් බඳවා ගෙන තිබෙනවා. එසේම වසර 13කට පසු මෙරට අලි ගහණය පිළිබඳ සමීක්ෂණයක් ඉදිරි මාස දෙක තුළ සිදු කිරීමටද අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම වනජීවී අපරාධ මැඩලීම සඳහා වර්තමානයට ගැලපෙන පරිදි වන සත්ව හා වෘක්ෂලතා අඥා පනත සංශෝධනය කිරීම හා නව නීති ඇතුලත් කිරීමද සිදු කර තිබෙනවා.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.පී.එන්.එදිරිසිංහ, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ එච්.ඒ. අනෝමා ප්‍රියදර්ශනී, රාජ්‍ය දැව සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( අළෙවි) ඩබ්ලිව්. බී සමන්ත යන මහත්ම මහත්මීන් ඇතුලු වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.