ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

    මැයි 25, 2024

    දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

    2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදෙන ප්‍රධානතම රෝහල වන අතර මෙම රෝහල මඟින් දිස්ත්‍රික්කයේ 150,000 අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසයි.

    අද විවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මඟින් උතුරේ මාතෘ සහ අලුත උපන් බිළිඳු රැකවරණය සැලසීම වැඩි දියුණු කරන අතර, අලුත උපන් දරුවන් සහිත කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරනු ඇත.

    සමරු ඵලකය නිරාවරණය කර කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කිරීමට ද එක් විය.

    අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2017 වසරේ යහපාලන රජය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වූ නමුත් අද එය සාර්ථකව නිම කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි.

    කාන්තා අයිතිවාසිකම් සුරුකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

    එසේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙම ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කර ගන්නා බවද පැවසූ ජනාධිපතිවරයා ඊට පාර්ලිමේන්තුවේ කිසිවෙකු එරෙහි නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    2017 වසරේ යහපාලන රජය යටතේ ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ කටයුතු අවසන් කිරීමට නොහැකි වුණා. නමුත් අද එය සාර්ථකව නිමා කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා.

    අද කිලිනොච්චි නගරයේ විශාල දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. මාන්කුලම ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඇති කරමින් මේ ප්‍රදේශ දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

    ඒ වගේම මෙම ප්‍රදේශයේ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවස්ථාව ලැබී තිබෙනවා. කිලිනොච්චියේ ද එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් මේ වන විටත් අනුමැතිය ලබා දී තිබෙනවා.

    මෙම ප්‍රදේශවල තිබෙන ඉඩම් ගැටළු මෙන්ම අතුරුදන් වු පුද්ගලයන්ගේ ගැටලුව පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා.

    අද විවෘත කළ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මෙරට කාන්තාවන් වෙනුවෙන් කළ විශිෂ්ට කාර්යයක් ලෙස හඳුන්වාදිය හැකියි. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් විශේෂ පියවර රැසක් අප මේ වන විට ගෙන තිබෙනවා.

    අපේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික අයිතිවාසිකම් පදනම් කර ගනිමිනුයි. ඒ නිසා අප දැන් කාන්තාවන් වෙනුවෙන් නව කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

    කාන්තාවන් බල ගැන්වීමේ පනත යටතේ කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. එම කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කරනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද කෙටුම්පත මෙම ජූනි මාසය අවසානයට පෙර සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එම කෙටුම්පත දැනට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර එම කටයුතු අවසන් වීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට කිසිවෙකු විරුද්ධ වනු ඇතැයි මා සිතන්නේ නැහැ.

    කාන්තා ආයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප කැපවී කටයුතු කරනවා. කාන්තා හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා. රැකියා ස්ථානවලදී උසස්වීම්, ස්ථාන මාරුවීම්වලට අදාළව කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි.

    කාන්තා අයිතිවාසිකම් නීතිගත කිරීමට අප අපේක්ෂා කරන අතර ඒ සඳහා එම නීතිය යටතේ කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම නිවසේදී කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. මෙම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත් මේ වන විටත් වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත් කියවා බලන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ව දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද අප අපේක්ෂා කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya