ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරනවා

    මැයි 25, 2024

    උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    දකුණු පළාත තුළ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකළ සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24) පෙරවරුවේ එක් වෙමිනි.

    ඉංජිනේරු පීඨ, වෛද්‍ය පීඨ, විද්‍යා පීඨ සහ කෘෂිකර්ම පීඨ ඇතුළු විද්‍යා විෂයන් මත පදනම් වූ මෙරට ඇති සියලු පීඨවල දැනට පවතින්නේ පැරණි තාක්ෂණය බවත්, මෙම තාක්ෂණය නව ලෝකයට ගැළපෙන පරිදි සකස් කළ යුතු බවටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික දරුවන් දක්ෂතා පෙන්වන්නේ මෙම තාක්ෂණය හදාරා නොව ,ඔවුන්ගේ දැණුම මත පමණක් බව පෙන්වා දුන් ඒ මහතා නව තාක්ෂණය හඳුන්වා දීමෙන් මෙරට විශාල දියුණුවක් කරා ගෙන යා හැකි බවද සඳහන් කළේය.

    ඒ පිළිබඳ යෝජනාවලිය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කඩිනමින් සකස් කර තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    අද විවෘත කෙරුණු සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල වසර 46 කට පසුව යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ පළමු ගොඩනැගිල්ල වන අතර ඒ සඳහා රුපියල් මිලියන 942 ක් වැය කර තිබේ. සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල සිසුන් 1200 කට උපාධි හා පශ්චාත් උපාධි සායනික පුහුණුව ලබා ගැනීම සඳහා පහසුකම් සලසා තිබෙන අතර ජාත්‍යන්තර පර්යේෂණ සහයෝගීතා සඳහා ද පහසුකම් සපයයි.

    වර්ග මීටර් 6000 කින් යුත් මෙම ගොඩනැගිල්ල දේශන ශාලා කිහිපයක්, සායනික කුසලතා විද්‍යාගාර සහ ශ්‍රවණාගාරයකින් සමන්විත වේ. ශල්‍යාගාර, ප්‍රතිසාධන කාමර, පිරිසිදු කිරීමේ ප්‍රදේශ, බැහැර කිරීමේ කලාප, වන්ධ්‍යාකරණ ඒකක, සූදානම් කිරීමේ කාමර සහ ගබඩා පහසුකම් ද මෙහි ඇතුලත්වේ‍.

    එසේම රෝගීන් රඳවා සිටින කාමර, උපදේශන කාමර සහ එන්ඩොස්කොපි, සනාල සැත්කම් සහ මැමෝග්‍රැෆි සඳහා විශේෂිත ඒකක, පර්යේෂණ රසායනාගාර, අධිකරණ වෛද්‍ය විමර්ශන ඒකකය සහ කෞතුකාගාරයක් ද මීට අයත් ය.

    ප්‍රසව හා නාරිවේද දෙපාර්තුමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන සාඵල්‍යතා සත්කාර ඒකකය විශේෂඥ උපදේශන, රෝග විනිශ්චය සේවා සහ ප්‍රතිකාර පහසුකම් ඇතුළු පුළුල් සේවාවන් සපයනු ඇත. සායනික අත්හදා බැලීමේ ඒකකය (CTU) දේශීයව අනුවර්තනය කරන ලද රෝගීන්ට නැඹුරු වූ, ලාභදායී ප්‍රතිකාර ක්‍රම පිළිබඳ සායනික පර්යේෂණ සඳහා පහසුකම් සපයයි. සායනික ප්‍රවේණික ඒකකය (CGU) ජානමය රෝග විනිශ්චය සහ රෝග කළමනාකරණය සඳහා පහසුකම් සපයන අතර රෝග නිවාරණය සඳහා දැනුම ලබා දෙනු ඇත.

    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    යාපනය දිස්ත්‍රික්කයට ජාතික රෝහලක් ලබා දෙන ලෙස ඔබ සියලු දෙනා රජයෙන් ඉල්ලීමක් කළා. කරාපිටිය රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී අපි අනුමැතිය ලබාදුන්නා. ඒ වගේම යාපනය රෝහල මීළග ජාතික රෝහල බවට පත් කිරීමට අප කටයුතු කරනවා.

    යාපනය දිස්ත්‍රික්කය තුළ උසස් සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට අවශ්‍යයි. එවිට කොළඹ පමණක් නොවෙයි දකුණ, උතුර සහ මධ්‍යම පළාත්වලද හොඳ රෝහල් පද්ධතියක් ඇති වෙනවා. අප එතනින් නතර නොවිය යුතු අතර දියුණු කළයුතු අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳව ද සොයා බැලිය යුතුයි.

    මම නිතරම යාපනය දිස්ත්‍රික්කයට පැමිණෙන බව මෙහිදී සඳහන් වුණා. ඇත්ත වශයෙන්ම මම මෙවර මෙහි පැමිණියේ රෝහල් කිහිපයක් විවෘත කිරීම සඳහායි. මම පැමිණියේ දීර්ඝ නිවාඩුවක් පවතින සති අන්තයකයි. ඒ පිළිබඳ මම ඔබගෙන් සමාව ඉල්ලනවා.

    මම පසුගිය වර මෙහි පැමිණි අවස්ථාවේ, මෙම නව රෝහල් දෙක විවෘත කිරීම වෙනුවෙන් මෙහි පැමිණෙන ලෙස ඔබ සියලුදෙනා සහ නෙදර්ලන්ත තානාපතිනිය මගෙන් ඉල්ලීමක් කළා. ඉතින් යාපනයට ඇවිත් යනවා වෙනුවට මේ සති අන්තයේ මෙතැනට පැමිණ මෙම කටයුතු අවසන් කිරීමට මා තීරණය කළා.

    ඇතැම් අය මගෙන් අහනවා ඔබ නිතරම මෙහි පැමිණෙන්නේ ඇයි කියලා. අගමැති ලෙස සිටියදීත් ජනාධිපති ලෙසත් මම නිතරම මෙහි පැමිණෙන්නේ යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මා විශ්වාස කරන නිසයි.

    යාපනය දිස්ත්‍රික්කයට දිගු කලක් සංවර්ධනයේ ප්‍රතිලාභ හිමි වූයේ නැහැ. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව රැකියා සොයන පිරිසක් මෙහි සිටිනවා. යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා.

    යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් ගැටළු ඇතුළු ඇතැම් ප්‍රශ්න විසඳිමට අපට හැකි වී තිබෙනවා. රැඳවුම් භාරයේ සිටින සිරකරුවන් සම්බන්ධයෙන් බොහෝ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඒ හා සම්බන්ධ අනෙකුත් ගැටළු බොහොමයක් පවතිනවා. තවමත් අපට මෙය අවසානයක් කරා ගෙන යාමට නොහැකි වී තිබෙන අතර අදාළ විසදුම් පවතින දේශපාලන ප්‍රශ්න වටා කැරකෙමින් පවතිනවා.

    සංහිඳියාව ගොඩනැඟීම, අතුරුදන් වූවන්ගේ ගැටළුව, වන්දි ගෙවීම්, සත්‍ය හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් අප ගත යුතු පියවර රැසක් තිබෙනවා. මෙම සියලු ගැටලුවලට විසදුම් ලබාදිය යුතු කාලය මෙය බව මා විශ්වාස කරනවා.

    ඒ වෙනුවෙන් සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මම මේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කරමින් සිටින අතර ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග මොනවද යන්න පිළිබඳව උතුරු නැඟෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

    පෙර පැවති සියලුම කොමිෂන් සභා වාර්තා පිළිබඳ සොයා බැලීම සිදුවනවා. නවාස් කොමිසමේ වාර්තාව පසුගියදා අපට ලැබුණා. එය මෙම සියලුම කොමිෂන් සභා වාර්තාවල මව් වාර්තාව ලෙස මම සලකනවා. ඒ වගේම එය මේ පිළිබඳ අවසන් කොමිෂන් සභා වාර්තාව වනු ඇතැයි මා විශ්වාස කරන අතර තවත් කොමිෂන් සභා වාර්තාවක් අවශ්‍ය නොවනු ඇතැයි මා සිතනවා.

    අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වෙනස්කම්වලට භාජනය විය යුතු බවට ඔවුන් ලබා දී ඇති නිර්දේශය මා පිළිගන්නවා. එය එසේ සිදු කළ යුතුයි. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් සිදු කළ යුතු වෙනස්කම් වගේම ඒ සමඟම මතුවන වන්දි ලබාදීමේ සමස්ත ප්‍රශ්නය පිළිබඳව අප සියලුදෙනා එක්ව සොයා බැලිය යුතුයි.

    ආර්ථික අර්බුදය නිසා පසුගිය අවුරුදු දෙකේදී අපට බොහෝ ප්‍රමාණයක් වන්දි ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ඒ සඳහා මුදල් වෙන් කිරීමට අපට සිදු වෙනවා.

    ඒ වගේම සත්‍ය, සිදු වූ දේ සහ සංහිඳියාව වෙනුවෙන් අපි සිදු කරන්නේ මොනවාද යන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව (TRC) ගෙන ඒමට රජය කැපවී සිටින නමුත් එහිදී ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අධිකරණ බලතලයි.

    සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව මඟින් අධිකරණ බලතල ක්‍රියාත්මක කළ යුතුද නැතහොත් එම කොමිෂන් සභාව විසින් සිදු කරන ලද නිර්දේශ මත පදනම්ව අධිකරණ බලතල ක්‍රියාත්මක කරනු ලබන වෙනම අධිකරණයක් අපට තිබිය යුතුද යන්න පිළිබඳව අප තීරණය කළ යුතුයි. ඒ වගේම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා රජය ඒ පිළිබඳ තීරණයක් ගත යුතුව තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතැළු සියලු පාර්ශ්වයන් මෙන්ම සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව නීතිගත කිරීමට අපට සහාය ලබා දුන් තානාපතිවරුන් තිදෙනා සමඟ ද සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස මම ඇමතිවරුන් දෙදෙනාට දැනුම් දී තිබෙනවා.

    මේ සමඟ ප්‍රශ්න බොහොමයකට විසඳුම් ලැබෙන බව මා විශ්වාස කරනවා. ඒ නිසා මේ පිළිබඳ සාකච්ඡා කර ක්‍රියාත්මක කළ හැකි විසඳුම් සමඟ එකඟතාවයකට පැමිණෙමු කියා මා ඇමතිවරුන්ට දැනුම් දුන්නා.

    ඒ වගේම උතුරු පළාත ඉහළ සංවර්ධන විභවයක් පවතින පළාතක් බව කිව යුතුයි. මෙම පළාත තුළ ඉතා ඉහළ පුනර්ජනනීය බලශක්ති හැකියාවක් තිබෙන අතර නියත වශයෙන්ම යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගිය හැකියි. අප තවම උතුරු පළාතේ තිබෙන මෙම හැකියාව භාවිතා කර නොමැති අතර එම හැකියාව පවතින්නේ මෙගාවොට් වලින් නොව ගිගාවොට් වලින් බව සඳහන් කළයුතුයි.

    ඒ වගේම අපට අවශ්‍ය වන්නේ තරගකාරී, ඉහළ වටිනාකමක් ඇති අපනයන කෘෂිකර්මාන්තයක් රට තුළ ඇති කිරීමටයි. උතුරු පළාත එහිදී වැදගත් පළාතක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම පළාතේ ගොවි ජනතාවට ඒ සඳහා හැකියාවක් තිබෙනවා. මේ තුළින් ජනතාවගේ ආදායම් මට්ටම මෙන්ම උතුරු පළාත තුළත් විශාල දියුණුවක් ඇති කළ හැකියි.

    ඒ වගේම කර්මාන්ත සම්බන්ධයෙන් සැලකූවිට කන්කසන්තුරේ පළමු ආයෝජන කලාපය පිහිටුවීමටත්, පසුව පරන්තන් සහ මාන්කුලම් හි කර්මාන්තපුර ආරම්භ කිරීමටත් අප සාකච්ඡා කරමින් සිටිනවා.

    ඒ වගේම අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. එසේම උතුරේ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති හැකියාව පිළිබඳව අප සොයා බලමින් සිටිනවා. ඉදිරි කාලය තුළ ඇතිවන ගොඩබිම් සම්බන්ධතාව තුළ යාපනය ඇතුළු මුළු පළාතම විප්ලවීය ලෙස වෙනස් වනු ඇතියි.

    මෙම කටයුතු සමඟ උතුරු පළාත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කරමින් සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා.

    යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ සිසුන්ගේ නර්තන අංග කිහිපයක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. මම ඔවුන්ට ප්‍රශංසා කරනවා. ඔවුන් බොහෝදෙනෙකු වයස අවුරුදු 21 සීමාවේ සිටින අයයි. ඒ කියන්නේ 2002, 2003 වසරවල ඉපදුණ දරුවන්. ඔවුන්ට හොඳ අනාගතය නිර්මාණය කර දිය යුතුයි.

    ඔවුන් අප Gen Z ලෙස හඳුන්වන අය. ඔවුන් ඔවුන්ගේ අනාගතය ගැන වැඩි උනන්දුවක් දක්වනවා. අප ඔවුන්ට එම අනාගතය ගොඩනගා දිය යුතුයි. නව ආර්ථික රාමුවක් තුළ වේගවත් සංවර්ධනයක් කරා යාමට නීති ගෙන ඒමට අප කටයුතු කර ඇත්තේ එම නිසා බව ද කිවයුතුයි.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,

    “2003 වසරේ සිට යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය මෙම ගොඩනැගිල්ල ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියා. මේ වනවිට එම ඉල්ලීම ඉටුවී තිබෙනවා. එසේම කෘෂි පීඨය ඇතුළු අනෙන් ඉල්ලීම් සඳහා ද කඩිනමින් විසඳුම් ලබා දෙනවා. පසුගිය සමයයේ රටම විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුව තිබියදී රට භාර ගැනීමට විපක්ෂ නායකවරයා ඇතුළු කිසිවකු ඉදිරිපත් වූයේ නැහැ. එදා ඒ වගකීම භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. අද රට තුළ සංවර්ධනය කටයුතු රැසක් සිදු වෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ධාවනය කළ නොහැකි වාහනයක් භාරගෙන එය ප්‍රවාහනයට සුදුසු තත්ත්වයට අලුත්වැඩියා කර තිබෙනවා. ඉදිරියේදී එම වාහනය ඉතා හොඳින් ධාවනය කිරීමට එතුමාට හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කැපවීම එතුමා තුළ තිබෙනවා. ජනාධිපතිතුමා එය ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන නිසා ඔහු ගැන විශ්වාසයක් අපට තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්න් මහතා,

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදි උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළා. අද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලබාදෙන මෙම ගොඩනැගිල්ල උතුරට ලබා දෙන සංවර්ධනයේ තවත් එක් උදාහරණයක් ලෙස මා දකිනවා.

    විශේෂයෙන් ඉඩම් ලබාදීමේ සංවේදී කාරණාව සම්බන්ධයෙන් එතුමා උතුරේ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගත්තා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ද උතුරු, නැගෙනහිර පළාත්වල සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා,

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සිටම උතුරේ මෙන්ම නැගෙනහිර සංවර්ධනය සදහා කැප වී කටයුතු කළා. අද මේ විවෘත කරන යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල උතුරට පමණක් නොව රට වෙනුවෙන්ම කළ හොඳ ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකියි. එමෙන්ම අනාගතයේ ශ්‍රී ලංකාවේ විද්‍යාර්ථයන් බිහිවන තෝතැන්නක් බවට මෙය පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා.

    මීට පෙර මේ සභාව ඇමතූ කථිකයන් ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිතුමා යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනයත්, එහි ජනතාව පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඇතැම් විට 2005 වසරේදී ඔබතුමාගේ ගමනට බාධා කළේ උතුර විය හැකියි. මේ වන විට උතුරේ ජනතාව එය පසුතැවිල්ලෙන් සිහිපත් කරනු ඇතැයි මම සිතනවා.

    මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කර ගැනීම පිළිබඳ මම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සුබ පතනවා.

    මෙම ආයෝජනය සැබවින්ම ඉතා ඵලදායී එකක් වනු ඇතියි. යාපනය දිස්ත්‍රික්කයට පැමිණි ජනාධිපතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගනිමින් මෙම සංචාරයේ දී එතුමා උතුර වෙනුවෙන් ඔබ කරන සෑම කටයුත්තක්ම අප අගය කරනවා.

    උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය,

    වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශයේ පළමු ඉදිකිරීම් සනිටුහන් කරමින් එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශයේ වැඩකටයුතු අවසන් කළ බව ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.

    මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට සහභාගි විය හැකිද කියා පසුගිය මාර්තු මාසයේ දී මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා. මැයි මාසයේ පැමිණෙන බවට එතුමා පොරොන්දු වුණා. ඔහු පොරොන්දු වූ පරිදි මෙහි පැමිණ තිබෙනවා.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය රාජේන්ද්‍ර සුරේන්ද්‍රකුමාරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya