ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන බලපෑම් පැමිණිය ද දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

    පෙබරවාරි 21, 2024

    කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

    එසේම 2023 දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ ද පැවසීය,

    මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදුකරනවා. කුමන බලපෑම් පැමිණිය ද අප විසින් සිදුකරන මෙම මෙහෙයුම් නැවැත්වීමට කිසිදු සූදානමක් නැහැ. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපට විවිධ චෝදනා එල්ල වනවා.

    මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් උත්සාහ කරනවා. මත්ද්‍රව්‍ය ජාල තුළින් මුදල් ලැබෙන පිරිස් විසින් එම පුද්ගල කණ්ඩායම් සඳහා මුදල් වියදම් කරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

    දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වනවා. පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක් වනවා. ඒ වෙනුවෙන් සිදුකළ වැටලීම් සංඛ්‍යාව 58,562ක් වනවා. එම මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 58, 234ක් වනවා.

    ඒ වගේම ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පවතින පෝලිම් අවම කිරීම සඳහා E Passport සේවාව හඳුන්වා දීමට අප සූදානම් වනවා. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය නිසා නැවත වතාවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පෝලිම් වැඩි වී තිබෙනවා. එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා අප කොරියානු රජය සමඟ සාකච්ඡා කර විභාගය සමත්වන අයවලුන් සඳහා පමණක් දැනට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.

    එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා නව හැඳුනුම්පත ලබාදීමට සියලු කටයුතු සූදනම් බව පැවසිය යුතුයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (Dangerous Drugs Control Board) හරහා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පාසල් සහ පොලිසිය ඒකාබද්ධව වැඩසටහන් කිහිපයක් මේ වන විටත් සිදු කෙරෙනවා.

    ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපගේ අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අප සියලු දෙනාම සහයෝගය ලබාදෙනවා. මේ රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩගෙන පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. එම තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති අය වෙනත් ජනාධිපතිවරයෙක් පිළිබඳව සිතිය යුතු නැති බව අපගේ අදහසයි.

    මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියේය,

    එහිදී පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්වල ප්‍රමාදයක් පිළිබඳව මාධ්‍යවේදියෙකු‍ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ උසස් වීම් සම්බන්ධව අසතුටට පත් නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් ආදිය හේතුවෙන් ඇතැම් උසස්වීම්වල ගැටලු පැනනැගී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ජාතික පොලිස් කොමිසම, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය එක්ව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ ද සාකච්ඡා වට කිහිපයක් සිදුකර තිබෙනවා. මේ හරහා ඉතා කඩිනමින් එම ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බව කිව යුතුයි.

    ඒ වගේම පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ට අදාළ උසස්වීම් රැසක් පසුගිය කාලය තුළ ලබාදීමට කටයුතු කළා. ඒ ආකාරයටම ඉදිරියේදී ද අදාළ උසස්වීම් නියමිත ලෙස ලබාදීමට අප කටයුතු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya