අතීතයේ දී මැතිවරණ පිළිබඳ පමණක් සිතා තීන්දු ගැනීම රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා වත්මන් රජය සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ අද දවසේ හිමි නොවුණද, රටේ තරුණ තරුණියන් සහ අනාගත පරපුරට නිසැක වශයෙන්ම එම ප්‍රතිලාභ හිමිවනු ඇති බවද සඳහන් කළේය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (15) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි. ජනාධිපති වෘත්තීය සබඳතා අංශය විසින් මෙය සංවිධානය කර තිබිණි.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි වුවද වැඩිවූ ජීවන වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වැඩි නොවූ බවත්, ඒ හේතුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජනතාවට උපරිම සහන සැලසීමට රජය කටයුතු කරමින් සිටින බවත් මෙහිදී පැවසූ සාගල රත්නායක මහතා විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමත් සමඟ ජනතාවගේ ආදායම් මට්ටම ද ඉහළ යන බව පෙන්වා දුන්නේය.
තවද ආර්ථික අර්බුදය හමුවේ කඩාවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති නැවත නඟා සිටුවීමට මෙවර අයවැය මඟින් මුදල් වෙන් කර ඇති බවත්, ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීම තුළින් නැවත විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවත් සාගල රත්නායක මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේ ද පැවසීය,
මීට වසර එක හමාරකට පෙර මේ රටේ තිබූ තත්ත්වය අපට අමතක නැහැ. එදා ජනතාවට ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල කාලය ගත කිරීමට සිදු වුණා. අවශ්‍ය ඖෂධ ටික ලබා ගැනීම පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. ජීවිතයේ ඉතා අසීරු තත්ත්වයකට අප පත්ව සිටියා.
එදා රටක් ලෙස අප සම්පූර්ණයෙන් බංකොලොත් භාවයට පත්ව තිබුණා. ආණ්ඩුව ගෙනයාමට අවශ්‍ය රුපියල් ශත ආදායමවත් තිබුණේ නැහැ. ඉන්ධන සහ ගෑස් ආනයනයටවත් මුදල් තිබුණේ නැහැ. ඒ වගේම ජනතාව පාරට පැමිණ නීතිය හා සාමය කඩවෙලා තිබුණා. අරගලය යහපත් අරමුණකින් ආරම්භ වුවත් අවසන් කාලය වන විට රටේ රාජ්‍ය දේපළ විනාශ කරමින් රටේ නීතිය හා සාමය කඩවන තත්ත්වයකට පත්ව තිබුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන සතියක් දෙකක් යන විට රට තුළ නීතිය හා සාමය නැවත ස්ථාපිත කිරීමට හැකි වුණා. ඒ වගේම මූල්‍ය අර්බුදයට යම් විසඳුමක් ලබා දී අවශ්‍ය මූලික සැපයුම් වන ඉන්ධන, ගෑස්, ඖෂධ ලබාදීමට කටයුතු කළා. එද පොහොර නැතිව කෘෂිකර්මාන්තය කඩා වැටීමකට ලක්ව තිබුණා.
මේ රටේ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන කරුණු දෙකක් හේතු වුණා. ඉන් පළමුවැන්න තමයි පොහොර ප්‍රතිපත්තිය නිසා ඇති වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කඩා වැටීම. දෙවැනි හේතුව වූයේ රාජ්‍ය ආදායම් පිළිබඳ දැරූ ප්‍රතිපත්ති අනුව සිදුකළ බදු ආදායම අඩු කිරීම නිසා රජයට බදු ආදායම් අහිමි වීම. ඒ වගේම මැතිවරණ පිළිබඳ පමණක් සිතා ගත් තීන්දු තීරණ නිසා මතු වූ ප්‍රශ්න ගණනාවක් තිබුණා.
මේ අර්බුද යම් තරමක් දුරට සමනය කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා විදේශ රටවලින් අපට ආධාර උපකාර ලැබුණා.
ඉන්පසුව රටේ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇතිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමට ජනාධිපතිතුමා තීරණය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පීඩනයන් අවම කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එකඟ වුණා. එහිදී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට නම් බදු ප්‍රතිපත්ති වෙනස් කළ යුතුව තිබුණා.
රුපියලේ අගය පහළ යාම නිසා රටේ ජනතාවගේ ජීවන බර වැඩි වුණා. මේ සමඟ බදු වැඩි කළ විට ජනතාව තවත් පීඩාවට පත් වෙනවා. නමුත් එය සිදු නොකළහොත් කෙසේවත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වෙනවා. නමුත් වසර දෙක තුනක් මෙම අසීරුතා විඳ දරාගතහොත් අපට සහනයක් ලබා ගත හැකියි. ඒ අනුව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වෙලා එම වැඩසටහනට එළැඹුණා.
මේ තත්ත්වයට පත් වූ අනෙක් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට දීර්ඝකාලයක් ගත වුණා. නමුත් අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් ගිවිසුම්ගත වීම නිසා ජාත්‍යන්තරය තුළ අප කෙරෙහි විශ්වාසයක් ඇති වුණා.
අපේ රටේ ආර්ථිකය නැවත හැරවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබාදුන් සහතිකය අපට වඩා වාසිදායක වුණා. ඒ අනුව නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ අප ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ වගේම ජනතාවට මුහුණ දීමට සිදු වන අසීරුතා පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත්, වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟත් සාකච්ඡා කර සහන ලබා ගැනීමට කටයුතු කළා.
“අස්වැසුම” ඒ අනුව ක්‍රියාත්මක කළ ප්‍රධාන වැඩසටහනක්. ඉදිරියේ දී එය තව තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. මෙම වැඩසටහන සමඟ ජනතාවගේ මූල්‍ය දුෂ්කරතා යම් තරමකින් හෝ පියවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒවගේම එහි ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩිකර තිබෙනවා. සමෘද්ධියට වෙන් කරන මුදලට වඩා තුන් ගුණයක් අප අස්වැසුම සඳහා වෙන් කළා. එම මුදල සෘජුව ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කෙරෙනවා. ඉදිරියේ දී ඩිජිටල්කරණය සමඟ එම වැඩසටහන තවත් දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම ගර්භණී මවුවරුන්ට ලබා දුන් පෝෂණ මල්ල නැවත ලබාදීමට කටයුතු කළා. වැඩිහිටියන්ට, වකුගඩු රෝගීන්ට ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ දීමනා නියමිත පරිදි ලබා දෙමින් එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ වගේම පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු හඳුනාගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මෙවැනි වැඩසටහන් අපි දිගින් දිගටම දියුණු කරමින් ඉදිරියට ගෙන යනවා.
ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ද මේ වන විට සාර්ථකව සිදු වෙනවා. එහි පළමු පියවර වන ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පැරිස් සමාජය සමඟ එකඟතාවකට පැමිණ තිබෙන අතර එය ප්‍රකාශයට පත් කිරීම ආසන්න තත්ත්වයේ පවතිනවා. එය ප්‍රකාශයට පත්වීමත් සමඟ අපේ රට සම්පූර්ණයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වෙනවා. ඒ අනුව ජාත්‍යන්තරයේ ණය ලබා ගැනීමේ තත්ත්වය ශක්තිමත් වන අතර රටට සහන ලැබෙනවා වගේම රටට ආයෝජකයන් පැමිණීමට පටන් ගන්නවා.
බංකොලොත්භාවයෙන් නිදහස් වී අප සාමාන්‍ය රටක් ලෙස නැවත ගනුදෙනු ආරම්භ කළ යුතුයි. ඒ වගේම අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි. ඒ සඳහා අප ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ ප්‍රමුඛ වැඩසටහනක් බව කිව යුතුයි. දැනට ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකින් අස්වැන්න ලැබෙන්නේ ටොන් 04ක පමණ ප්‍රමාණයක්. එය දෙගුණයක් කර ගැනීමට හැකි වැඩසටහනක් දැන් සකස් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම වැඩසටහන් මෙම වර්ෂයේ දී ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
ඒ වගේම සංචාරක කර්මාන්තය කෙරෙහි අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දැනටමත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර පසුගිය වසරේ සංචාරකයක් 14,89,000ක් මෙරටට පැමිණ තිබෙනවා. එය ඊට පෙර වසරට වඩා දෙගුණයක වැඩිවීමක් බව කිවයුතුයි. ඒ වගේම මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණියේ 2017 වසරේදීයි. එම සංඛ්‍යාව ලක්ෂ 25ක්. අපේ ඉලක්කය වන්නේ එම ප්‍රමාණය අභිඹවා යාම පමණක් නොවෙයි. ලබන වසර වන විට එය තවත් ඉහළ නංවා ගැනීමයි. එමෙන්ම දැනට මෙරටට පැමිණෙන සංචාරකයන් දිනකට ඩොලර් 100ක් පමණ වැය කරන සංචාරකයන්. ඔවුන්ට අමතරව දිනකට ඩොලර් 500ක් පමණ වැය කරන ඉහළ පෙළේ සංචාරකයන් ද මෙරටට ගෙන්වා ගැනීමට අප නව වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් කර්මාන්තය යන මේ සියලු අංශවල පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට රජය සැලසුම් සහගතව කටයුතු කරනවා.
පසුගිය ආර්ථික කඩාවැටීම නිසා අප සියලුදෙනා පීඩාවට පත් වුණා. දීර්ඝ කාලයක් පුරා අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් අප මේ වන විට සිදු කරමින් සිටිනවා. මෙය දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායකයි.
ඇතැම් විට මෙහි සිටින අපට එහි ප්‍රතිඵල සියයට සියයක්ම දැක ගැනීමට නොහැකි වෙයි. නමුත් අනාගත පරපුරට සහ තරුණ තරුණියන්ට නිසැක වශයෙන්ම එහි ප්‍රතිලාභ හිමි වෙනවා. ඒ සඳහා අප මෙම මාර්ගයේම ඉදිරියට යා යුතුයි. මෙම බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ අප සිදු කරන්නේ නැවත හරවන්න බැරි අන්දමින් පාර්ලිමේන්තුව හරහා නීතිගත කිරීමෙන් පසුවයි. නමුත් අපි ඒ වැඩකටයුතු ක්‍රමානුකූලව අවසන් කළයුතුයි. ඒ සඳහා අප රටක් ලෙස එක්විය යුතුයි.
ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා,
2022 අප්‍රේල් මාසයේ 12 වැනි දින ණය ගෙවිය නොහැකි බවට පළමු වතාවට රජය ප්‍රකාශයට පත් කළා. නමුත් අපි ණය නොගෙව්වේ විදේශ රටවලින් ගත් ණය සහ ජාත්‍යන්තර බැදුම්කරවලට ගත් ණය පමණයි. අප එදා සිට අපේ දේශීය ණය, ජාත්‍යන්තර ප්‍රධාන මූල්‍ය ආයතනවලින් ගත් ණය අඛණ්ඩව ගෙවා ගෙන ආවා. නමුත් වැඩි කොටසක් තිබුණේ විදෙස් රටවලින් ගත් ණය සහ පුද්ගලික ණය නිසා ඒවායේ ගෙවීම් සිදු කළේ නැහැ.
කෙසේ වුවත් පුද්ගලිකවත් ලබාගත් ණය ගෙවිය නොහැකියි කියන්නේ බංකොලොත්භාවය තමයි. අවුරුදු 100ක වැනි මෑත ඉතිහාසය තුළ කවදාවත් මෙවැනි තත්ත්වයකට පත් වී නැහැ. ඒ නිසා එම 2022 අප්‍රේල් 12 වැනිදාව ශ්‍රී ලංකා ආර්ථික සහ සමාජ දේශපාලන ඉතිහාසයේ කඩඉම් වර්ෂයක් හා දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවත් ජනතාවත් කියා සිටියේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කළ යුතු එකම දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම බවයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කළත් එම නිලධාරීන් ඒ අවස්ථාවේ මෙරටට පැමිණීමට බිය වුණා. සූම් සාකච්ඡා හරහා ඉතා අසීරු ගමනක් ගිහින් සැප්තැම්බර් 01 වැනිදා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි සහිත එකඟතාවකට පැමිණීමට හැකි වුණා. වසර 04ක කාලපරිච්ඡේදයක් සඳහා ඩොලර් බිලියන 03ක එකඟතාවයකට පැමිණියත් ශ්‍රී ලංකාව ණය නොගෙවන බවට ප්‍රකාශයට පත් කර ඇති බැවින් එය ලබා දිය නොහැකි බව ඔවුන් පැවසුවා. ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ණය ගෙවන වැඩපිළිවෙළක සිටින බවට එකඟතාවකට පැමිණෙන ලෙස ඔවුන් දැන්වුවා. ඒ අනුව ජාත්‍යන්තර සංවිධාන දෙකක උපදෙස් ලබා ගනිමින් මාස 07ක් තිස්සේ සාකච්ඡා සිදු කර 2023 මාර්තු 20 වැනිදා තමයි අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව ලැබුණේ. එය ලොකු මුදලක් නොවෙයි වුවත් ලංකාවේ හොඳ ආර්ථික වැඩපිළිවෙළක් තිබෙන බවට සහතිකයක් ලබා ගැනීමට හැකි වුණා.
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා,
2024 අය වැය ලේඛනය කියන්නේ මෙම වසර තුළ රට ගෙන යන්නේ කොතැනටද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන මූල්‍යමය ලියවිල්ලයි. එය නිසි ලෙස අධ්‍යයනය කර ඊට දායකත්වය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ නිවැරදි අදහසක් ලබා ගැනීම අතිශය වැදගත් කාරණාවක් බව කිවයුතුයි.
පෝලිම්වල මිනිසුන් මැරී වැටෙන උප සංස්කෘතිකයක් අපේ රටේ නිර්මාණය වුණා. ඒ වගේම තෙල් බවුසරයක් ඉන්ධන හළ වෙත පැමිණෙන විට අත්පොළසන් දෙන සමාජයක් අපට දකින්න ලැබුණා. එවන් අසීරු යුගයක් තමයි අප දැන් යම් ප්‍රමාණයකට අවසන් කර තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ නිවැරදි වැඩපිළිවෙළ නිසා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ අද අපට රටක් ලෙස නැවත නැගී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එම වැඩපිළිවෙළ අද ලෝකය පිළිගෙන තිබෙනවා. වැටුණු රටවල් අතරින් ඉක්මණින් නැගි සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන් ද පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, ගාල්ල දිස්ත්‍රික් ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.