ඒ අනුව, රබර් අස්වනු සහායකයින් ලෙස කටයුතු කළ 169කට පළමු වරට NVQ-3 සහතික පත් ප්‍රදානය කිරීම ඊයේ (15) අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ දී සිදු විය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානය සිදු කෙරුණු අතර එම අවස්ථාවට රබර් පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලක්ෂ්මන් අබේගුණසේකර, ජාතික රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා , ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ උප සභාපති එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා ද ඇතුළු නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
රබර් කිරි කැපීමේ කටයුතුවල නිරත වන කම්කරුවන් ලෙස මෙතෙක් හඳුන්වන ලද කම්කරුවන්ගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂාවන පරිදි රබර් අස්වනු සහායකයින් ලෙස හැඳින්වීම ද මෙහිදී සිදු වූ අතර
ජාතික වෘත්තිය නිපුණතා සහතික පිරිනැමීමේ දී රබර් අස්වනු සහායකයින්ට උපාධි ලෝගුවක් පළඳවා සහතික පත් පිරිනැමීමට ද රබර් පර්යේෂණ ආයතනය විසින් පියවර ගෙන තිබිනි.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා-
අප රටේ රබර් ගස් මිලියන 35ක් තිබෙනවා. ඉන් රබර් කිරි කැපීම සිදු කරන්නේ මිලියන 17ක පමණයි. ඉතිරි රබර් ගස් මිලියන 18ක අස්වනු නෙලා ගන්නේ නැහැ. අපේ රටේ ක්‍රේප් රබර් දැනට ලෝකයේ තිබෙන හොඳම රබර් ලෙස සළකනවා. වාර්ෂිකව රබර් අපනයනයෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 1000ක් ලැබෙනවා. නමුත් මෙම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් දක්වා ඉහළ නැංවීමට අපිට හැකියාව තිබෙනවා.
පහත තෙත් කළාපයේ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගා කර තිබෙන ඉඩම් බහුතරයකින් නිසි අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඊට හේතු කිහිපයක් තිබෙනවා. එකක් මෙම ප්‍රදේශයට නැරන්තරයෙන් ලැබෙන වැස්ස. අනික් කාරණය ශ්‍රම හිඟය. මේ නිසා රබර් කිරි කැපීමට නව තාක්ෂණය හඳුන්වා දීම සිදු කළ යුතුයි.
ඒ වගේම මෙම ප්‍රදේශවල තවදුරටත් රබර් වගාව ව්‍යාප්ත කළ යුතු ද යන්න සම්බන්ධවත් රබර් පර්යේෂණායතනය සිතා බැලිය යුතුයි. ඒ වෙනුවට වියලි කලාපයේ මොනරාගල, අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර වැනි ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කළ හැකියි.
මෙම රබර් අස්වනු සහායකයින්හට ජාතික නිපුණතා සහතික ලබා දුන්නා. ඒක ඉතාමත් හොඳයි. මීට අමතරව තල්, කිතුල්, හා පොල් කර්මාන්තය ආශ්‍රිතව රා මඳින හා ගෙඩි කඩන පුද්ගලයින්ටත් මෙම NVQ-3 සහතිකපත් ලබා දීමට අපිට හැකි වුනා. එම කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට මෙවැනි පුහුණුවක් සමග සහතික පත් ලැබීම නිසා ඔවුන්ට විදේශගත වී ආදායම් ඉපයීමටත් අවස්ථාවක් ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.