මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවසට ඒමට පෙර බලශක්තියෙන් 19%ක් අපතේ යනවා- බලශක්ති විගණනයක් අත්‍යවශ්‍යයි - පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන

    දෙසැම්බර් 13, 2023

    නිවසට හෝ කම්හලට ඇතුළුවීමට පෙර මෙරට බලශක්තියෙන් 19%ක් නැතහොත් පහෙන් එකක් අපතේ යන බවත්, ඒ නිසා බලශක්ති විගණනයක් අත්‍යවශ්‍ය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී (.12 දින) අවධාරණය කළේය.

    සම්ප්‍රේෂණයේදී 11%කට ආසන්න ප්‍රතිශතයක්ද, ගෘහස්ත සම්බන්ධතාවයට පෙර තවත් 9%කට ආසන්න ප්‍රතිශතයක්ද මෙසේ අපතේ යන බව ඔහු අනාවරණය කළේය. මේ නිසා ආයෝජන ප්‍රවර්ධනයට සෘජුවම බලපාන, බලශක්තිය, නියාමනය සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය හරහා මිට වඩා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු කියා සිටියේය. ඔහු මෙම අදහස් පළ කළේ ආයෝජන ප්‍රවර්ධන හා තාක්ෂණ අමාත්‍යංශවල වැය ශිර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

     

    දැනට රටේ පවතින 28%ක් වන තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය එම මට්ටමේ තබාගෙන රටට ඉදිරියට යා නොහැකි බව කී, යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, විදාතා මධ්‍යස්ථානවලින් බිහිවූ උපාධිධාරීන් හෝ යොදාගෙන තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය කඩිනමින් ඉහළ නැංවිය යුතු බව සඳහන් කළේය. අපේ රටට පළමු පරිගණකය ගෙනවිත් වසර 55ක් පමණ ගතවුවත් පිළිතුරු පත්‍ර බැලීමට හෝ තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට හැකියාව ලැබී නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

     

    අපනයන නිෂ්පාදනය සඳහා බෝග වගාවට ඉඩම් අත්‍යවශ්‍ය බවද, අගමැතිවරයා පසුගිය සතියේ ලලිත් ඇතුළත්මුදලි සමරු දේශනයේදී යෝජනා කළ පරිදි "අපේ ගමෙන් ලොවට" වැඩපිළිවෙළ හරහා ලබන වසරේ නව ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ යුතු බවද ඔහු පැවසිය. ඒ සඳහා සුදානම් කරන පළමු ගම්මාන 1000 සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය මැදිහත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය ඉඩම් තාවකාලිකව බද්දට හෝ ලබාදිය යුතු බව, මන්ත්‍රීවරයා සඳහන් කළේය.

     

    කොළඹ නගරය සහ අවට ගංවතුර පාලනයට, වර්ෂා ජලය කළමනාකරණය නොකළහොත් එම ආර්ථික හානිය ආයෝජනයට බලපාන බවත්, යල්පැන ගිය පුස්තකාල පද්ධතිය දියුණු කළ යුතු බවත්, සීතාවකට ලබාදෙන බවට පොරොන්දු වූ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා රාමුව සැකසිය යුතු බවත් යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya