ධීවර කටයුතුවල නිරත වන බෝට්ටුවලට බැටරි මෝටර් යොදා ගැනීම තුළින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන බව ද එමඟින් ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ආර්ථික වශයෙන් කඩාවැටුණු අපේ රට යළි ගොඩනැඟීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් විශිෂ්ඨ අයවැය සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. යුද්ධය සහ කොවිඩ් ආසාදනය වැනි විවිධ හේතු නිසා අපේ රට පසුගාමී තත්ත්වයකට පත්වුණා.
ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වූයේ කොහොමද කියා අප සිදුකළ විදේශ සංචාරවලදී එම රටවල පිරිස් විමසා සිටියා. ඒ ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම, පෞරුෂය සහ පවතින ආණ්ඩුවට සහය දෙන අය නිසා බව මම ඔවුන්ට පැහැදිලි කර සිටියා. ශ්‍රී ලංකාවේ ජනතාවත් මේ අර්බුද තේරුම් ගෙන රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද මම සඳහන් කළා.
ඒ වගේම 2024 අයවැය මඟින් ධීවර අමාත්‍යාංශයට රුපියල් මිලියන 8400ක් පමණ වෙන්කර තිබෙනවා. ඉන් මිලියන 6077ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් මිලියන 2323ක් පුනරාවර්තන වියදම් ලෙසත් වෙන් කර තිබෙනවා. මෙම මුදල් යොදා ගනිමින් ධීවරයන්ගේ ජීවනෝපාය ඇතුළු රටේ සංවර්ධනය වඩා හොඳින් ඉදිරියට ගෙන යා හැකි ආකාරය අපි ඉදිරිපත් කළා. එය පදනම් කරගෙන අපට ඉදිරියට යා හැකියි. රජය විසින් ලබාදෙන මෙම මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව අප රටේ සමුද්‍ර කර්මාන්තය දියුණු කිරීම සඳහා දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයන්ගේ සහයෝගය ද අපේක්ෂා කරනවා.
ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අපේ ධීවර කර්මාන්තයට දැවැන්ත බලපෑමක් එල්ල කර තිබෙනවා. විවිධ හේතූන් මත ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යන විට ශ්‍රී ලංකාවේ ද මිල ඉහළ යාම ගැන රජයට දොස් කියන්න බැහැ. ඒ නිසා පවතින සියලු අවස්ථාවන් කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගනිමින් සමුද්‍රීය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අප සැලසුම් සකස් කරනවා. විශේෂයෙන්ම ඉන්ධන පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම භාවිතා කිරීමට අපි සැලසුම් කරමින් සිටිනවා.
එමෙන්ම ධීවර කටයුතු සඳහා බෝට්ටුවල බැටරි මෝටර් යොදා ගැනීම පිළිබඳවත් අපි විධිමත් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. එමඟින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන අතර ඉන්ධන ප්‍රශ්නයටද විසඳුම් ලැබෙයි. අපි ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකර තිබෙනවා.
ඒ වගේම අපේ අමාත්‍යාංශය විසින් ධීවර හා ජලජ සම්පත් සංශෝධිත නව පනතක් ගෙන ඒමට නියමිතව තිබෙනවා. එය මේ වනවිට කෙටුම්පතක් ලෙස සකස් කර තිබෙනවා වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ලබාගැනීම සඳහා ද යොමුකර තිබෙනවා.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නියැළීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් හරහා සාකච්ඡා කොට විසඳාගත යුතු වනවා. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධීවර ප්‍රශ්නය ප්‍රාන්ත රජයේ බල සීමාවට අයත් වනවා. උතුරු පළාත නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වී සෘජුවම ඉන්දියාවට ගොස් පාන්ඩිචෙරි සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය ඇතුළු ඉන්දීය මාධ්‍ය සමඟ සාකච්ඡා කිරීම හොඳම විසඳුම බව මගේ ස්ථාවරයයි.