නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 50ක වියදමින් හෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක්

    ඔක්තෝබර් 30, 2023

    හෝර්ටන්තැන්න නව පිවිසුම සිය පුද්ගලික වියදමින් ඉදිකිරීමට හැක්කේ ටෝකියෝ සමාගම වැනි විසල් හදවතක්ඇති මිනිසුන්ට පමණක් යැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    අමාත්‍යතුමිය මේ බව පැවසුවේ, ටෝකියෝ සිමෙන්ට් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය වියදමෙන් හෝර්ටන් තැන්නට පිවිසීම සඳහා ඩයගම ප්‍රදේශයෙන් ආරම්භ කළ නව පිවිසුම් දොරටුව හා සියලු යටිතල පහසුකම්වලින් සම්පූර්ණ ප්‍රවේශපත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

    මෙවැනි ඉදිකිරීමක් සිදුකිරීම දෙපාර්තමේන්තුවටත් අපහසු වී ඇති පසුබිමක් තුළ එම වගකීම සිය පෞද්ගලික යුතුකමක් සේ සිතමින් ටෝකියෝ සිමෙන්ට් සමූහ ව්‍යාපාරය කටයුතු කිරීම ඉහළින් ඇගයීම් කළයුතු බවද අමාත්‍යතුමිය එහිදී පැවසුවාය.

    මෙම අවස්ථාවට එක්වෙමින් ටෝකියෝ සිමෙන්ට් සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ආර්. ඥාණම් මහතා පැවසුවේ මෙම පිවිසුම ඉදිකිරීමත් සමඟම වනය සම්බන්ධිතව සිදුකෙරෙන නීතිවිරෝධී ක්‍රියාවන් නරත වනු ඇති බවත්, වනාන්තර ආරක්ෂා කිරීම හුදෙක් රජයේ වගකීමක් පමණක් නොව පෞද්ගලික ආයතනද ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතු බවත්ය.
    සොබා සෞන්දර්යය හා වනාන්තර ඉදිරි පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කළයුතු බවද ඒ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට සහභාගිවූ ජ්‍යේෂ්ඨ පරිසරවේදියකු වන ආචාර්ය රොහාන් පෙතියගොඩ මහතා පැවසුවේ මෙම නව පිවිසුමත් සමඟ සංචාරකයන්ට නිවර්තන කඳුකර වලාකුළු වැසි වනාන්තරයක් වන හෝර්ටන් තැන්නෙහි තවත් එක් පැතිකඩක් ඇවිද යාමෙන් බලාගැනීමට මහඟු අවස්ථාවක් නැවතත් උදාවී ඇති බවත්, එය මෙරට සොබා දහම් සංචාරක ව්‍යාපාරයේ දියුණුවට නව පිටිවහලක් බවත් පැවසීය.

    ඩයගම ප්‍රදේශයෙන් ආරම්භ කළ නව පිවිසුම් දොරටුව හා ප්‍රවේශපත් කාර්යාලය වෙනුවෙන් රුපියල් මිලියන 50ක පමණ මුදලක් ටෝකියෝ සිමෙන්ට් ආයතනය යොදවා ඇති අතර සියලු ඉදිකිරීම් මෙම සංවේදී පරිසර පද්ධතියට කිසිදු හානියක් නොවන අයුරින් සිදුකර ඇත.

    ඒ අනුව සියලු යටිතල පහසුකම් සහිතව ප්‍රවේශපත් කාර්යාලය ඉදිකර ඇත්තේ රථවාහන ගාල් කිරීමට අවශ්‍ය ස්ථානයක්ද සමගිනි.

    මීට අමතරව මුරකිරීම් කටයුතු සඳහා කුටි ඉදිරකර ඇති අතර උද්‍යාන භාරකරු ඇතුළු වනජීවී නිලධාරීන්ට රැඳී සිටීම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව නිල නිවාසද ඉදිකර ඇත. මෙයට අවශ්‍ය විදුලිය ලබාගැනීම සඳහා සූර්‍ය පැනලද සවිකර තිබීම විශේෂත්වයකි.

    මෙම කටයුතු සිදුකර ඇත්තේ ටෝකියෝ සිමෙන්ට් ආයතනයේ තිරසර සංවර්ධන ඒකකය විසින් වන අතර මීට පෙරද ටෝකියෝ සිමෙන්ට් ආයතනය ආචාර්ය රොහාන් පෙතියගොඩ මහතා සමඟ එක්ව ඒ මහතා විසින් ශ්‍රී ලංකාවේ නිවර්තන කඳුකර වලාකුළු වැසි වනාන්තර සම්බන්ධයෙන් රචනා කර ඇති විද්‍යාත්මක පොතක්ද එළිදක්වා ඇත.

    මෙම අවස්ථාවට ටෝකියෝ සිමෙන්ට් සමූහ ව්‍යාපාරය වෙනුවෙන් එහි කලමනාකරණ අධ්‍යක්ෂ එස් ආර් ඥාණම්, ටෝකියෝ සිමෙන්ට් ආයතනයේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් යන මහත්වරු ඇතුළු එම ආයතනයේ නිලධාරීන් පිරිසක්ද, ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් රදැල්ල හෝල්ඩිංග්ස් ආයතනයේ සභාපති නිහාල් රද්දැල්ල මහතා, ජ්‍යේෂ්ඨ පරිසරවේදියකු වන ආචාර්ය රොහාන් පෙතියගොඩ යන මහත්වරුද, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, අධ්‍යක්ෂ (සංරක්ෂීත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා, හෝර්ටන් තැන්න උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා ඇතුළු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya