මහනුවර ගන්නොරුවේ දී පසුගියදා පැවැති දකුණු ආසියානු කලාපීය කෘෂිකර්ම නියෝජිත සමුළුවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
දේශගුණ සුහුරු කෘෂිකාර්මික වැඩසටහන් දකුණු ආසියානු කලාපීය රටවල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තෙදින වැඩමුළුව මහනුවර Oak Ray හෝටලයේදී පැවැති අතර ඊට සාර්ක් කලාපයේ සියලු රටවල කෘෂිකාර්මික නියෝජිතයින් සහභාගි වූ අතර අමාත්‍යවරයා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
යල කන්නයේ වී වගාවට බලපෑ නියඟය මෙන්ම ඉන්පසු බලපෑම් එල්ල කළ අධික වර්ෂාව සහිත කාලගුණය නිසා කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශ වූ අතර විශේෂයෙන් දකුණු පළාත, කුරුණෑගල හා උඩවළව කලාපයේ වගාවන් රැසක් මෙම කාලගුණික බලපෑම් නිසා විනාශයට පත් ව තිබේ.
මේනිසා ඉදිරි මහ කන්නයේ දී ගොවීන් රැසකට තම වගා කටයුතු ආරම්භ කිරීමටවත් වත්කමක් නොමැති තත්ත්වයක් පවතී. මෙම කාරණය සැළකිල්ලට ගනිමින් ඊට අදාල වගා හානි මෙම වසර තුළම විශේෂ අවශ්‍යතාවයක් සේ සළකා ගෙවීමට පියවරගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව දැනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති පරිදි වගා හානි සිදු වූ හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇත. රටේ පවතින මුදල් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම මුදල ලබා දෙන නමුත් මෙම මුදල ප්‍රමාණවත් නොවන බව තමන් ද දන්නා බව අමාත්‍යවරයා පැවසීය.
මින් පෙර වගා හානි වන්දි ගෙවීමේ දී වසරක කාලයක් ගත වූ අතර ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාවය සොයා බැලීමට සිදුවීම ඊට හේතුවයි. 2022 මහ කන්නයේ වගා හානි වන්දි මෙම වසරේ මේ වනවිට ගෙවමින් තිබේ. ඒ සඳහා මේ වනවිට රුපියල් මිලියන 400ක පමණ මුදලක් ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවරගෙන ඇත.
එමෙන්ම වගා කටයුතු ඇරඹීම සඳහා කන්න රැස්වීම්වල දී තීරණය කරනු ලබන දිනයන් තුළ වගා කටයුතු ඇරඹීමට ගොවින් පියවර ගත යුතු බවත් නියමිත දිනය තුළම වගා කටයුතු සිදු නොකරන ගොවීන්ට මින් ඉදිරියට වගා හානි සිදුවීමක දී කිසිදු වන්දි මුදලක් ගෙවීමට පියවර නොගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට හොඳින් වර්ෂාව ලැබෙතත් මේ වන තෙක් ඇතැම් ප්‍රදේශවල ගොවීන් වගාව සඳහා යොමු වී නැත. නමුත් උතුරු පළාතේ ගොවි ජනතාව මේ වනවිටත් වර්ෂා ජලය උපයෝගි කර ගනිමින් වී වගා කටයුතු ආරම්භ කර තිබේ. එමනිසා වගා හානි වන්දි කන්න රැස්වීම් දිනය නොසලකා ගෙවන අන්තිම අවස්ථාව මෙම වසර වේ. මින් පසු කිසිදු අවස්ථාවක නියමිත දිනයට වගා නොකර සිදුවන වගා හානි සඳහා මුදල් නොගෙවීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම දැනට රට තුළ කිසිදු සහල් හිඟයක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා රටේ පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් තොග පවතින බව අවධාරණය කළේය. නමුත් පසුගිය කන්නවල කීරි සම්බා වගා කිරීම අඩු වීම නිසා කීරි සම්බා සහල්වල යම් හිඟයක් පවතී. නමුත් අනෙකුත් සහල් වර්ග ඇති තරම් පවතින බවත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද හෙතෙම කීය.