මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවෙස්වල එක්තැන් වූ රෝගීන්ගේ ප්‍රතිකාර සේවා ශක්තිමක් කි‍‍‍‍‍‍‍‍‍‍‍‍රීමට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට නවීන ගිලන් රථයක්

    ජූනි 17, 2023

    ජපානයේ “කියොතෝ මුරසාකි” සිංහ සමාජය ( Kyoto Murasaki Lion Club) විසින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට (NIHS) ප්‍රදානයක් ලෙස ලබාදුන් රුපියල් මිලියන 15 ක් පමණ වටිනා නවින තාක්ෂණයෙන් යුත් ගිලන් රථය නිල වශයෙන් බාරදිම (13) සිදු විය.

    කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ දී දිස්ත්‍රික් සිංහාධිපතිනි සිංහ ශයනා ජයලත් මහත්මිය ඇතුලු සිංහ සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙත මෙම ගිලන් රථය නිල වශයෙන් බාරදුන් අතර, සෞඛ්‍ය ලේකම්වරයා විසින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත මෙම ගිලන් රථය‍ නිල වශයෙන් බාරදෙන ලදි.

    පරිත්‍යාගයක් ලෙස ලබාදුන් මෙම ගිලන් රථය අත්‍යාවශ්‍ය සියළු වෛද්‍ය උපකරණ වලින් සමන්චිත නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථයකි. මෙම ප්‍රදානය මෙරටට ලබාගැනීමට කටයුතු කරන ලද්දේ මෙරට අළුත්ගම බෙන්තොට සිංහ සමාජය විසිනි.

    කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම කොට්ඨාසයේ හදිසි අවශ්‍යතාවයක දී ප්‍රවාහන පහසුකම් ලබාගත නොහැකි දුෂ්කර ගම්මාන රැසක් වන බවත්, එම ගම්මාන වල නිවෙස් වල එක්තැන්ව සිටින රෝගීන් සදහා මූත්‍රා බට මාරු කිරීම, ආහාර බට මාරු කිරීම, තුවාල වලට සැරහුම් දැමීම වැනි හදිසි ප්‍රතිකාර සේවාවන් සදහා ගිලන් රථයක අවශ්‍යතාවය දැඩිව පැවැති බවයි. ගිලන් රථයක් මෙවැනි ආයතනයකට ලැබීම තුලින් වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්මණ්ඩල වලට එම කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට මෙන්ම රෝගී සුරක්ෂිතතාවය උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇති බව ද පැවැසීය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක වුව ද වර්තමාන තත්ත්වයන් තුල සියළු දේ රජයට පමණක් සම්පූර්ණ කිරීමේ හැකියාවක් නොමැති බවයි. දානපතියන්, ස්වේඡ්ඡා සංවිධාන, ජාත්‍යන්තර ආයතන මෙරට සෞඛ්‍ය සේවාවට පසුගිය දුෂ්කර කාලය තුල ද උපකාර සිදු කළ බවත්, මෙරට සෞඛ්‍ය සේවා අඛණ්ඩව සිදු කරගෙන යාමට එය මහත් ශක්තියක් වූ බව ද පැවැසිය. ජපාන් සිංහ සමාජයක් විසින් මෙවැනි පරිත්‍යාගයක් සිදු කිරීමට කැමැත්තක් දක්වන බව අළුත්ගම බෙන්තොට සිංහ සමාජයේ ව්‍යාපෘති සභාපති සිංහ ඉන්දක ද සිල්වා තමාව දැනුවත් කළ බවත්, ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ගිලන් රථ‍ය ලංකාවට ගෙන්වා ගත් බවයි. මෙරට යම් යම් නීති රීතී වලට අනුකූලව ගිලන් රථය නිදහස් කර ගැනීමට අදාළව යම් කිසි ප්‍රමාදවිමක් සිදු වූ බවත්, පසුව කඩිනම් පියවර ගනිමින් මෙම ගිලන් රථය නිදහස් කර ගත හැකි වූ බව ද කීය. කළුතර දිසා රෝහල් රැ‍සකින්ම ගිලන් රථයක අවශ්‍යතාව පිළිබදව ඉල්ලීම් රැසක් තිබුන බවත්, සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කරන, අතුරු වෛද්‍ය, පරිපූරක සියළු කණ්ඩායම් පුහුණු කරන ‍මෙරට ප්‍රධානතම සෞඛ්‍ය ආයතනයක් වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් සිදු කරන සේවාවවන් ශක්තිමත් කිරිමට මෙම ගිලන් රථය ලබාදීමට කටයුතු කළ බව ද කීය. මෙමගින් ලබාගත හැකි උපරිය ප්‍රයෝජන ලබාගන්නා ලෙසත්, මෙවැනි ප්‍රදානයක් ලබාදිම පිළිබදව ජපානයේ කියොතෝ මරසාකි සිංහ සමාජය වෙත සහ මෙරට සම්බන්ධිකරණ කටයුතු සිදු කළ අළුත්ගම බෙන්තොට සිංහ සමාජයේ සියළු නිලධාරීන්ටත් සිය ස්තූතිය පිරිනමන බව ද පැවැසීය.

    මෙම අවස්ථාවට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල දිස්ත්‍රික් සිංහාධිපතිනි සිංහ ශයනා ජයලත්, අළුත්ගම බෙන්තොට සිංහ සමාජයේ සභාපති සිංහ චාන්දනී විතාන, ව්‍යාපෘති සභාපති සිංහ ඉන්දක ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු සිංහ සමාජයේ සාමාජිකයින් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya