මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දන බස්නාහිර පළාත් අනුකමිටුව රැස් වෙයි

    ජූනි 15, 2023

    ඩෙංගු ව්‍යාප්තිය පාලනයට සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරිම වැදගත්.

    වත්මන් තත්ත්වය රෝග වාහකයා සහ වෛරස් ප්‍රමාණය පාලනය කිරීමට කඩිනම් පියවර ගත යුතු අවස්ථාවක් – ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අර‍ඹේපොල මහත්මිය පෙන්වා දෙයි.
    ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අර‍ඹේපොල මහත්මිය පැවසුවාය.

    එබැවින් ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන්ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය සහාය අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
    රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කරන ලද බස්නාහිර පළාත් අනුකමිටුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබීය.

    විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බස්නාහිර පළාත් අනුකමිටුවේදී දින කිහිපයක් ඇතුළත ඩෙංගු පාලනයට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    වත්මන් තත්ත්වය රෝග වාහකයා සහ වෛරස් ප්‍රමාණය පාලනය කිරීමට කඩිනමින් පියවර ගත යුතු අවස්ථාවක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
    රෝහල් අවට ප්‍රදේශයන්හි ඩෙංගු පාලනයට වෙනමම මාර්ගෝපදේශ සකස් කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දුන් අතර, රෝහල් ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා උණ රෝගීන් සඳහා පමණක් වෙන් කළ ස්ථානවල (Fever corners) ඔවුන් හුදෙකලා කිරීම මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස හඳුනා ගන්නා රෝගීන්ගෙන් තවත් අයකුට රෝගය බෝ වීමට ඇති අවස්ථා පිළිබඳ කෙටි පණිවිඩයක් මඟින් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

    ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසල්, පූජනීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත්හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා සතියේ දින පහ වෙන් කර ගන්නා ලෙසත්, ස්ථානීය පරීක්ෂාවන් සඳහා පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් සීතා අරඹේපොල මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් දුන්නාය.

    පාසල් සිසුන් අතර ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, එය අනිවාර්ය නොවන මෙන්ම දෙමව්පියන්ට අමතර වියදමක් නොවන ලෙස සිදු කළ යුතු බවටත් සාකච්ඡා කෙරිණ. ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

    එසේම මදුරු විකර්ෂණ ආලේපන භාවිතය පිළිබඳ දැනුවත් කිරීම සුදුසු බවට ද මෙහිදී යෝජනා විය.

    කොවිඩ් මර්දනයේදී ද සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළ “ඩෙංගු කණ්ඩායම්” මුහුණ දී ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කළ සීතා අරඹේපොල මහත්මිය එම ගැටලු විසඳීමට මැදිහත් වන බවත් ඒ අනුව එම කණ්ඩායම් ශක්තිමත් කර ඩෙංගු පාලනයට ඔවුන්ගේ සහාය ලබා ගත යුතු බවත් පැවසීය.

    විශේෂ අවස්ථාවක් ලෙස සලකා ඩෙංගු මර්දන කටයුතුවලදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටලු විසඳා අවශ්‍ය පහසුකම් සලසන ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය පළාත් පාලන කොමසාරිස්වරුන්ට උපදෙස් දුන්නාය. එසේම සෑම සතියකම රැස්වන මෙම අනු කමිටුවට කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහභාගි විය යුත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් සමඟ සාකච්ඡා කර යාවත්කාලීන වීමෙන් පසු බවද සඳහන් ක‍ළාය.

    බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහිර පළාතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ගාමිණී ධර්මසේන, පළාත් පාලන ලේකම් ඒ.ඩී.එස් සදීකා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුද්ධිකා එස්. ගමගේ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න යන මහත්ම මහත්මීහු සහ බස්නාහිර පළාත් ඩෙංගු මර්දන අනුකමිටුවේ සාමාජිකයන් ද, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya