මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 යල කන්නයේ වගා හානි වූ වී ගොවීන්ට වන්දි - රුපියල් මිලියන 70ක්

    ජූනි 13, 2023

    2022 යල කන්නයේ වගා හානි වූ වී ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 70ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙම වන්දි මුදල් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ලබා දීමේ වැඩසටහන පසුගියදා අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දී ආරම්භ විය. ඒ අනුව තිස්සමහාරාම හා වීරකැටිය ප්‍රදේශවල වගාහානි සිදු වූ ගොවීන්ට වන්දි පිරිනැමීම සිදුකෙරිණි.

    2022 යල කන්නයේ වගා හානි සිදුවූ ගොවීන් 3499 දෙනෙකුට වන්දි ලබා දීමට කටයුතු යොදා ඇති අතර හානියට ලක් ව තිබු කුඹුරු ප්‍රමාණය අක්කර 3326කි. මින් වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, මඩකලපුව, හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලිනි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීගහජඳුර, මයුරපුර, අම්බලන්තොට හා වීරවිල යන ප්‍රදේශවල වගාහානි සිදුවූ ගොවීන් 89 දෙනෙකුට රුපියල් විසිහත්ලක්ෂ හැත්තෑ දෙදහස් නවසීයක මුදලක් (2,772,900ක) වන්දි වශයෙන් පිරිනමන ලදී.

    කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලය යටතේ වගාහානි වන්දි ලබා දෙනු ලබන්නේ වන අලි, නියඟය හා ගංවතුර යන හේතුන් මත සිදුවන වගා හානි සඳහා පමණි.

    නමුත් ගොවි ජනතාව රුපියල් 200ක වාර්ෂික රක්ෂණ වාරිකයක් ගෙවීම මගින් සෙසු වගා හානි සඳහා ද රක්ෂණ වන්දි මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා පවසයි.

    එසේම පසුගිය මහ කන්නයේ ගොයම් කහවීම සම්බන්ධයෙන් කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලැබුනු පැමිණිලි පරීක්ෂා කිරීමේ දී මහ කන්නයේ ගොයම් කහවීමට හේතුව රෝග තත්ත්වයක් නොව බන්ඩි පොහොර (MOP) නොයෙදීම නිසා ඇති වන පෝෂණ ඌනතාවයක් බව අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධව වන්දි මුදල් ගෙවීමක් සිදු කළ නොහැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අවධාරණය කර ඇත.

    කෙසේ වුවද වී, මිරිස්, අර්තාපල්, බඩඉරිඟු, ලූණු හා සෝයා බෝංචි සදහා වගා හානිවීමක දී හෙක්ටයාර් 01ක් සඳහා නොමිලයේ ලබා දෙන රුපියල් ලක්ෂයක වන්දිය අඛණ්ඩව ලබා දෙන බව ද එම මණ්ඩලය පවසයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya