මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

    ජූනි 13, 2023

    ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

    මෙම කාරක සභා රැස්වීමේ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ව්‍යාපාරික සංගම් නියෝජිතයින් සහභාගී වූ අතර මෙහිදී ඔවුන් විසින් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කරන ලදී.

    මේ අනුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අවධාරණය කෙරුණු අතර ව්‍යාපාරික සංගමයක් විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තියකට අදාළ යෝජනාවලියක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සියලු පාර්ශවකරුවන්ගේ එකගත්වයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඉදිරි පියවර ගන්නා ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා උපදෙස් ලබා දුන්නේය.

    මෙම රැස්වීමට සහභාගි වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, මෙම ක්‍ෂේත්‍රයේ ඇති ගැටලු මැණික් පතල් කැණීම, මැණික් කැපීම, ඔපදැමීම සහ අගය වැඩිකිරීම, ආනයනය අපනයනය ඇතුළු වැළඳ කටයුතු, වෙළද ප්‍රවර්ධනය ආදී අංශ යටතේ වර්ගීකරණය කර අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ යෝජනා ඇතුළත් පුළුල් වාර්තාවක් සකස් කර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, මුදල් අමාත්‍යාංශය සහ අදාළ අංශවල අවධානයට එය යොමු කළ යුතු බවයි.

    එමෙන්ම මැණික් පතල් කැණීම් සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී පවතින දුෂ්කරතා පිළිබඳව ද පැමිණි නියෝජිතයින් විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. බලපත්‍ර නිකුත් කිරීම සඳහා අදාළ සියලුම ආයතන සතියකට එක් දිනයක් හෝ
    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ ඒකාබද්ධව බලපත්‍ර නිකුත් කිරීම මගින් එම ක්‍රියාවලිය කාර්යක්ෂම කළ හැකි බව කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

    මේ අතර, රත්‍රං ආනයනය තහනම් කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයේ නිරත වන ව්‍යාපාරිකයන් පීඩාවට පත්ව සිටින බව පැමිණි නියෝජිතයෝ පෙන්වා දුන්හ. විදේශ මුදලින් පමණක් ගණුදෙණු කරන මෙම ව්‍යාපාරිකයන් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන එන බවත් තමන් උපයන විදේශ විනිමයෙන් කොටසක් යොදවා රත්‍රං ආනයනය කිරීමට අවසර දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා රජය විසින් පනවා ඇති බදු හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරිකයන් පීඩාවට පත්ව සිටින බව ද ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කරන බව කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.

    එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට පිවිසෙන ශ්‍රමික පිරිස අඩුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය. මෙම ව්‍යාපාරය පදනම් වූ ප්‍රදේශවල පුහුණු ආයතන පිහිටුවීම සහ මෙම ක්ෂේත්‍රය ප්‍රචලිත කිරීමට
    පියවර ගැනීමේ අවශ්‍යතාවය මන්ත්‍රීවරු සහ පැමිණ සිටි නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

    මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නව තාක්‍ෂණය භාවිත කිරීම, අපනයනයේදී මතුවන ගැටලු, බදු ප්‍රශ්න ආදී විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව මෙම කාරක සභාවේ දී ඉදිරිපත් වුන ගැටලු වාර්තාවක් ලෙස සකස් කර වගකිවයුතු ආයතන සමඟ සාකච්ඡා කර ඒවාට විසඳුම් සෙවීමට පියවර ගන්නා බව කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජිකයින් වන අකිල එල්ලාවල, වරුණ ලියනගේ, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ (වෛද්‍ය) තිලක් රාජපක්ෂ යන මහත්වරු ද පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya