මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම අධ්‍යාපන කලාපයකමට කථන හා භාෂා චිකිත්සක හෙවත් වාග් ව්‍යාධිවේදියකු පත් කිරීමට යෝජනා

    ජූනි 13, 2023

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පිහිටුවා ඇති “ආයති” මධ්‍යස්ථානය අනුමත පුණ්‍යායතනයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡා කෙරේ

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සායනික ප්‍රතිකාර පිණිස ආරම්භ කරන ලද මෙරට ප්‍රථම ජාතික මධ්‍යස්ථානය වන “ආයති” ළමා සුරැකුම් මධ්‍යස්ථානය අනුමත පුණ්‍යායතනයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡා කෙරිණි.

    උක්ත කරුණු සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍යපීඨ පරිශ්‍රයෙහි ඉදිකොට ඇති මෙම මධ්‍යස්ථානය වෙතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විවිධ ආබාධිත තත්ත්වයන් සඳහා සායනික සේවාවන් සිදුකෙරෙන අතර සියළුම කායික සහ මානසික ආබාධ තත්ත්වයන් වෙනුවෙන් මූලික පරීක්ෂාවන් සිදුකිරීම ඇතුළුව කථන හා භාෂා චිකිත්සාවන්, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුළු පුලුල් සේවාවන් රාශියක් පවත්වනු ලබයි.

    ''ආයති ''මධ්‍යස්ථානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ආබාධිත අධ්‍යයන අධ්‍යයනාංශයේ ඉහළ සුදුසුකම් සහිත වෘත්තීය විශේෂඥයින් සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ චිකිත්සකවරුන් විසින් මෙහි සායන පැවැත්වීම සිදු කරනු ලබන බව මෙහිදී අවධාරණය විය.

    එමෙන්ම මෙම මධ්‍යස්ථානය මගින් මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලයේ ලබාදෙන අතර ආබාධ සදහා මෙතෙක් මෙරට දරුවන් හට පහසුවෙන් ලබා ගත නොහැකිව තිබු සේවාවන් රාශියක් ලබා දෙන බවත් මෙහි සාර්ථකත්වය අනුව ඉදිරියේදී රටපුරා වෙසෙන, මෙබදු සේවාවන් අවශ්‍ය එහෙත් වැයවන වියදම් දරා ගැනීමට නොහැකි අයහට සේවාවන් ලබා ගැනීමට හැකි අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

    උක්ත ආයතනය අනුමත පුණ්‍යායතනයක් ලෙස පිළිගැනීම සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නමුත් වත්මන් දේශීය ආදායම් පනත (2017) මගින් එය සීමා කර ඇති නිසා මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අරමුදල් සපයා ගැනීම අසීරු වී ඇති බව එහි සභාපති සහ කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පෙන්වා දුන්නාය. විශේෂයෙන් විදේශීය පරිත්‍යාග ලබා ගැනීමේදී පුණ්‍යායතනයක් ලෙස පිළිගැනීම ඉතා වැදගත් වන බවද මහාචාර්යවරිය සඳහන් කළාය.

    මෙහිදී සභාපතිනිය පෙන්වා දුන්නේ “ආයති” ළමා සුරැකුම් මධ්‍යස්ථානය අනුමත පුණ්‍යායතනයක් බවට පත් කිරීම ජාතික අවශ්‍යතාවක් සේ සලකා ඒ පිළිබඳ අදාළ ආයතන සහ නිලධාරීන් සමග සාකච්ඡා කොට පියවර ගන්නා බවයි.
    මෙරට පාසල් දරුවන් අතර කථන ආබාධ සහිත දරුවන් විශාල පිරිසක් සිටින බැවින් එක් අධ්‍යාපන කලාපයකට එක් කථන හා භාෂා චිකිත්සක හෙවත් වාග් ව්‍යාධිවේදියකු පත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවද මෙහිදි අවධාරණය විය.


    මෙම රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මුදිතා ප්‍රිශාන්ති, මංජුලා දිසානායක, රාජිකා වික්‍රමසිංහ සහ (ආචාර්ය) හරිනි අමරසූරිය සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් වන මහාචාර්ය සමන්මලී සුමනසේන, ආචාර්ය අශ්විනි ප්‍රනාන්දු සහ ශිරෝමි මාසකෝරාල යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya