මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280 ක් - කෝපා කමිටුවේදී අනාවරණය වෙයි

    ජූනි 09, 2023

    කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

    මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙහිදී 2021 වර්ෂයේ මුලු හිග ආදායම රු. මිලියන 5,835.6 ක් බවද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 ක් බවද, 2019 වර්ෂයේ 4,481.5 බවද අනාවරණය විය. මෙහිදී වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල්
    පවතින බව හදුනාගැණුනි.

    මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිග බදු පවතින දේපල අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එසේම ඇතැම් දේපල වල හිමිකරුවන් හඳුනාගැනීම සමිබන්ධයෙන් ගැටලු පවතිනබවත්, මහා නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිගවීමත් මෙම හිග මුදල් අයකරගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බවයි.

    පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහාද වරිපනම් අංක ලබාදී ඇති බවයි. මේ අනුව කමිටුව නිර්දේශ කළේ 2023 ජුලි මස 06 දින වන විට මෙම මුදල් අයකරගැනීමට දින වකවානු සහිතව වැඩපිළිවෙළක් සකස් කොට සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙසයි.

    එසේම රථගාල් ගාස්තු අය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන විසින් නගර සභාවට ගෙවිය යුතු මාසික කුලී මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බවත් 2021 දෙසැම්බර් 31 දින වන විට ආයතන 38 කින් අයකරගත යුතු හිග ගාස්තු ආදායම රු. මිලියන 265 ක් බවත් අනාවරණය විය.

    තවද මෙහිදී කොළඹ මහනගරසභාවේ ගිණි නිවන ඒකකය පිළිබඳවද සාකච්ඡා වූ අතර මෙම අංශයේ සේවය අගය කරන බවද ලංකාව පුරා මෙය ව්‍යාප්ත විය යුතු බවද කෝපා කමිටුවේ සභාපතිවරයා පැවසීය. එසේම මෙහිදී
    සඳහන් වූයේ උස මහල් 20ක් පමණ වන තෙක් ගොඩනැගිලි වල ගිණි නිවීමට මෙම අංශයට පහසුකම් පවතින බවයි. මෙහිදී කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මහල් 20 ඉක්මවන ගොඩනැගිලි වල ගින්නක් ඇති වුවහොත් ගුවන් හමුදාවේ සහයෝගය ලබාගැනීම වැදගත් වන බවයි. මේ නිසා ගුවන් හමුදාව සමග සම්බන්ධීකරණය වැඩිකරගැනීමට කෝපා කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය. තවද ගිණි නිවන ඒකකයේ පවතින පුරප්පාඩු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

    එසේම විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදු විය. මේ අනුව මේ සඳහා විධිමත් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සහ එය නිවැරදිව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන ලදි.


    කොළඹ 07 ප්‍රදේශයේ පවතින ඉඩමක වරිපනම් ගෙවීම මගහැරීම පිළිබඳව සහ ඉඩම් ලේඛන නිවැරදිව පවත්වාගෙන නොයෑම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජූලි මස 06 වැනිදා වන
    විට කෝපා කමිටුවට ලබාදෙන ලෙස කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය. එසේම බස්නාහිර මහා නගරසභා කොමසාරිස් කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.

    තවද කොළඹ නගරයේ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර ජුනි 21 දින මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කෝපා කමිටුව රැස් වන බවයි. එදින මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සියලු පාර්ශ්වයන් කෝපා කමිටුවට කැදවන බවද කෝපා කමිටුවේ සභාපතිවරයා පැවසීය. මීට අමතරව ඝණ අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, ඩයනා ගමගේ කේ. කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හෙක්ටර් අප්පුහාමි, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, මුදිතා ප්‍රිශාන්ති, එම්.ඩබ්ලිව්.ඩී. සහන් ප්‍රදීප් විතාන සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya