මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කඩිනමින් ස්ථාපිත කිරිමට පියවර

    ජූනි 09, 2023

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය එ්කක කඩිනමින් ස්ථාපිත කිරීමට අදාළව විශේෂ සාකච්ඡාවක් (08) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සහ වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මුදිත විදානපතිරණ යන මහ්වරුන් ද එක්ව සිටියහ.

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය මේ වසරේ ආරම්භ විය. ඒ සදහා පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම වශයෙන්‌ මෙවර උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් වෛද්‍ය විද්‍යාව හැදැරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන් අතරින් 50කු බදවා ගැනීමට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තීරණය කර තිබේ.

    එම සිසුන්ගේ අධ්‍යයන හ සායනික පහසුකම් කටයුතු සදහා මෙම මහාචාර්ය එ්කකය යොදා ගැනීමට නියමිත අතර, බදුල්ල ශික්ෂණ රෝහලේ මේ වනවිට ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින මෙම දසමහල් ගොඩනැගිල්ල සදහා වන ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 1.6 කි.

    මෙම සාකච්ඡාවේ දී ගොඩනැගිලේ ඉදිරි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරිම පිළිබදව සහ එයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිළිබදව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කළ අතර, ගොඩනැගිල්ලේ සිදුවිය යුතු වෙනස්කම් සිදුකිරිමට අදාළ ජාතික සැළසුම් අංශයේ උපදෙස් හා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම පිළිබදව ද සාකච්ඡා විය. මෙම ගොඩනැගිල්ල මහාචාර්ය ඒකකයට සුදුසුවන පරිදි වසරක් තුළ ඉදිකිරිම් සහ සංවර්ධන කටයුතු අවසන් කිරීමට ද තීරණය විය.

    මහාචාර්ය ඒකක ගොඩනැගිල්ලේ බිම්මහල සායනික කටයුතු සදහා සිසුන්ගේ අධ්‍යයයන කටයුතු සදහාත්, පළමු මහල ළමා රෝග මහාචාර්ය ඒකකය, දෙවන සහ තුන්වන මහල් ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඒ්කකය සදහාත් වෙන්කොට ඇත. හතරවන මහල ශල්‍යාගාර, සූතිකාගාර සහ හදිසි ප්‍රතිකාර එකක සදහා වෙන්කර තිබේ. පස් වන සහ හයවන මහල් ප්‍රසව හා නාරිවේද මහාචාර්ය ඒ්කක සදහාත් හත්වන සහ අට මහල් කායික රෝග මහාචාර්ය ඒකක සදහාත් වෙන් කොට ඇත. නව වන මහලේ ශ්‍රවණාගාරය සඳහා සැලැසුම් කර තිබේ.

    පසුගිය මැයි මස වෛද්‍ය පීඨය ආරම්භ කරන ලද අතර, මෙම නව වෛද්‍ය පීඨයේ මුලික කටයුතු සම්පාදනය වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 200 ක් 2023 වසරේ අයවැයෙන් වෙන් කොට තිබෙන අතර, විශ්ව විද්‍යාලයේ දැනට පවතින රසායනාගාර අදාල උපාධි පාඨමාලාවන් හි ප්‍රායෝගික පුහුණු සදහා යොදා ගැනේ. මෙම නව වෛද්‍ය පීඨයේ මූලික සැළසුම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති අතර, එය පදනම් කරගනිමින් බදුල්ල පළාත් මහ රෝහල වෛද්‍ය සිසුන්ගේ පුහුණුවීම් සහ සායානික කටයුතු සදහා ශික්ෂණ රෝහලක් ලෙසට මෙම වසරේ මැයි මස සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
    මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අල්විස්, අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) සාලින්ද බණ්ඩාර,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළැසුම්) වෛද්‍ය එස්. ශ්‍රීදරන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී.විජේසූරිය යන මහත්වරුන් සහ බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න, මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නියෝජිතයින් සහ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya