මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක්

    ජූනි 08, 2023

    මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

    2023 වර්ෂයේ දී අයවැයෙන් වෙන් කරන ලද මුදල් නව වගා ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වන ලද සාකච්ඡාවක දී මේ පිළිබඳව තීරණය කර ඇත.

    දැනට මෙරට දොඩම් වගාව දිස්ත්‍රික්ක ගණනාවක සිදු කළද, විදේශ රටවල සිට ආනයනය කෙරෙන මැන්ඩරින් නැමැති දොඩම් විශේෂය සඳහා මහජනතාවගේ විශාල ඉල්ලුමක් පවතී.


    මෙම දොඩම් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යයි. වාර්තා වී ඇති පරිදි 2022 වසරේ දොඩම් ආනයනය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 496ක් වන අතර දොඩම් මෙට්‍රික් ටොන් 2407ක් ආනයනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.


    නමුත් 2022 වසරට පෙර වසරවල දී ඊට වඩා විශාල දොඩම් ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබේ. 2019 දී මෙරටට ආනයනය කරන ලද දොඩම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7773ක් වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 949කි. මේ අයුරින් 2020 හා 21 වර්ෂවල දී පිළිවෙළින් රුපියල් මිලියන 670ක් හා මිලියන 735න් බැගින් වැය කර ඇත.


    මෙසේ ආනයනය කරන ලද දොඩම්වලින් බහුතරය මැන්ඩරින් වර්ගයට අයත් දොඩම් වේ. මැන්ඩරින් දොඩම් විශේෂය මෙරට වගා කිරීම සඳහා සිදු කරන ලද පර්යේෂණ සාර්ථක වී තිබේ. ඒ අනුව මධ්‍යම කඳුකරයේ ඉහළින් පිහිටි කොටස්වල නොව බදුල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල පහළින් පිහිටි ප්‍රදේශවල මැන්ඩරින් දොඩම් වගා කිරීමට උචිත දේශගුණයක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරින් අවධාරණය කර තිබේ.


    මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට වගා කළ හැකි සෑම බෝගයක්ම වගා කිරීම රජයේ ඉළක්කය බව සඳහන් කළේය. එමනිසා මැන්ඩරින් දොඩම් විශේෂය මෙරට වගා කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව පැවසීය.


    මැන්ඩරින් දොඩම් වගාව සම්බන්ධව ව්‍යාපෘති වාර්තාවක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙන අතර මෙම වසර තුළ ම මැන්ඩරින් වගා කලාපය මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පැළ තවාන්වල මැන්ඩරින් දොඩම් පැළ අවශ්‍ය තරම් රෝපණය කර තිබෙන නිසා ඒවා වගාව සඳහා යොදා ගැනීමට තීරණය කරනු ලැබීය.


    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya