මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු පළාත් සභා සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පළාත් සෞඛ්‍ය සමුළුවක්

    ජූනි 08, 2023

    මධ්‍යම රජය යටතේ පවතින රෝහල් ඇතුලු සෞඛ්‍ය සේවාවන් හා පළාත් සභා යටතේ පවතින එම සේවාවන් අතර අන්තර් සම්බන්ධතාවය ඉහළ නංවමින් මෙරට ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ පළාත් සෞඛ්‍ය සමුළුවක් (06) පවත්වනු ලැබීය.

    මෙම සමුළුව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙ‍‍‍‍‍‍ලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහෙන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    රේඛීය අමාත්‍යාංශය මගින් පාලනය වන ජාතික රෝහල්, මහ රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් රෝහල් ඇතුලු සෞඛ්‍ය පද්ධතිය මෙන්ම පළාත් සභා යටතේ පාලනය වන මුලික රෝහල්, පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් ඇතුලු සෞඛ්‍ය පද්ධතිය වඩාත් ඉහළ ගුණාත්මක මට්ටමින් පවත්වාගෙන යාම සදහා රේඛීය අමාත්‍යාංශය සහ පළාත් සභාවත් අතර අන්තර් සම්බන්ධතාවයක් හා සහයෝගීතාවන් ඉහළ නැංවීම මින් අපේක්ෂා කෙරේ.

    මෙයට පෙර පළාත් සභා සක්‍රීය මට්ටමේ පැවැති අවස්ථාවේ පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ඒ ඒ පළාත්හි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙවැනි සමුළු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබීය. එහෙත් පසුගිය වකවානුවේ පැවැති ගෝලීය කොවිඩ් වසංගතය හා දේශපාලන හා ආර්ථික ගැටළු හමුවේ එය පැවැත්වීමට නොහැකි වූ අතර, මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය නිසි කළමණාකරණයකින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින අවස්ථාවක මධ්‍යම රජය සහ පළාත් සභාවන් අතර අන්තර් සම්බන්ධතාවය ඉහළ නංවමින් ජාතික සෞඛ්‍ය පද්ධතිය වඩාත් ගුණාත්මකව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙවැනි සමුළුවක් පැවැත්වීමට එම අමාත්‍යාංශය පියවර ගැණිනි.

     

    මෙහිදී මධ්‍යම රජයේ රෝහල් පද්ධතිය පළාත් සභා යටතේ පවතින රෝහල් පද්ධතිය අතර අන්තර් සම්බන්ධතාවය ඉහළ නැංවීමට ගත හැකි ක්‍රියා මාර්ග, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවය අනෙකුත් මානව සම්පත් ගැටළු, භෞතික සම්පත් ආශ්‍රිත ගැටළු, අතිකාල ගෙවීම් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල ස්ථානමාරුවීම් ලබාදීම්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා පුහුණු වැඩමුළු පැවැත්වීම, ඖෂධ මිලදී ගැනීම, අත්‍යාවශ්‍යම සේවාවන් සදහා කොන්ත්‍රාත් පදනම මත සිදුකරනු ලබන බඳවා ගැනීම්‍‍, සෞඛ්‍ය කාර්යමණ්ඩල රාජකාරිමය ගැටළු නිරාකරණය, අනුමත කාර්ය මණ්ඩල යාවත්කාලීන කරගැනීම සහ පළාත් ආයුර්වේද කොමසාරිස්වරු පත්කිරිම් වැනි ගැටළු රැසක් පිළිබදව සාකච්ඡා කෙරිනි.

    මෙම සමුඑව සඳහා පළාත් නියෝජනය කරමින් පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා - පසුගිය අපහසු කාල පරිච්ඡේදය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යාමේ දී රේඛිය අමාත්‍යාංශය සහ පළාත් සභා එක් වැඩපිළිවෙලකට යොමු කරගන්නේ කෙසේ ද යන්න ගැටළුවක්ව පැවැතිණි. 13 වන සංශෝධනයත් සමග ඇති වී තිබෙන වෙනස්කම් සහ නීතිමය සහ ව්‍යවස්ථාමය ප්‍රශ්ණ සමග වෙනස් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වුවත්, රටේ පොදු මහජනතාව උදෙසා සමස්ත සෞඛ්‍ය පද්ධතියේ එක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. මේ වනවිට පළාත් සභා ක්‍රියාකාරීත්වයෙන් බැහැර වී තිබිම නිසා මෙවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාව වැදගත් වේ. මෙය 88 පළාත් සභා පිහිටුවීමෙන් පසු ඇති වූ සුවිශේෂි අවස්ථාවකි. එනිසා එම සුවිශේෂ අවස්ථාව තුළ ක්‍රියාත්මක විය හැක්කේ කෙසේ ද ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද යන්න සාකච්ඡා කළ යුතු බව ද කීය. එයට හේතුව පළාත් සභා සහ මධ්‍යම රජය සමග කටයුතු කරන විට සම්බන්ධීකරණය සහ එකඟතාවයන්ට පැමිණිමට නොහැකි වීම ‍තුළ ගැටළු රැසක් සහ අනවශ්‍ය ප්‍රමාදයන් රැසක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා කීය. ආර්ථික ගැටළු සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටළු සහගත තත්ත්වයන් යම් කිසි ආකාරයක කළමණාකරණයකට ගෙන යා හැක්කේ සියළු දෙනාම එකට එක්ව එය අභියෝගයක් ලෙස ගෙන විසදුම් සෙවීමට උත්සාහ ගැනීම තුළින් පමණක් වන බව ද අමාත්‍යවරයා පැවැසිය. ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට පිළිතුරු සොයනවාට වඩා පොදුවේ ගත හැකි කරුණු වෙන වෙනම ගෙන පොදුවේ පිළිතුරු සෙවීම යෝග්‍ය බව ද හෙතෙම පැවැසීය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “2019-2020 කාලයේ දී කොවිඩ් වසංගතය සමග ඇති වූ තත්ත්වයන් හේතුවෙන් 2021-2022 වසරවල සාමාජ ආර්ථික වශයෙන් විශාල කඩාවැටීමකට රට ලක්වුණා. මේ වනවිට යම්කිසි මට්ටමක ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම ගමනේ දී සහ අපගේ සිතැගි අනුව විය යුතුම දේවල් වුවද අකමැත්තෙන් හෝ මඟහැරයාමට සිදු වූවා. වර්තමානයේ මූල්‍යමය තත්ත්වය සමග ඉතාම අපහසුතාවයන් මැද පරිපාලනය ගෙන යනවා. රාජ්‍ය සේවයේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි යන වැඩපිළිවෙළයන්ට පසු පළමු ගෙවීම් සිදු කරන්නේ සෞඛ්‍ය සේවාවටය. එහෙත් තවදුරටත් පහසු නොවන අපහසුතාවයකට අප පත්ව සිටිනවා. පළාත් සභාවල ද තිබෙන මුදලින් ද වැඩිපුර ගෙවන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය බෙදී යන විෂයක් ලෙස ගන්නවා ද නැතිනම් එකට ගෙන කටයුතු කරනවා ද කියන එකත් අපට සිතන්න සිදුවෙලා තිබෙනවා. බෙදී යන විෂයක් ලෙස අපි බැමි බැඳගතහොත් මේ කරන සේවය කරන්න පුළුවන් වෙයි ද කියන එක ගැන අපට ලොකු සැකයක් තිබෙනවා. මෙය 13 වන සංශෝධනයේ කුමන අයුරින් ලියවී තිබුණද ප්‍රායෝගිකව සළකා බලා අප කටයුතු කළ යුතුයි. මෙහි ප්‍රශ්ණය ගැන සාකච්ඡා කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනෙකු පත්කරන අතර, පළාත් මට්ටමින් එක් නියෝජිතයෙක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. මාසකට වරක් ඔවුන් හමු වී පවතින ගැටළු සාකච්ඡා කර කඩිනම් විසදුම් ලබාගැනීමට අපේක්ෂා කරනවා. එමෙන්ම ස්ථාන මාරුවිම් ලබාදීමේ ප්‍රශ්ණය විසදන්න වෙනවා. මොකද සමහර පළාත්වල වසර 10-12 සේවය කරන පිරිස් ඉන්නවා. එය ලොකු අසාධාරණක්. අපි කල්පනා කළේ වසර 06 වැනි කාලයක් සීමාවක් දමා ඉන්පසු ස්ථානමාරුවීම් ලබාදීමටයි. ඒ සදහා අවස්ථාව ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”

    මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා මෙහිදී කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි වූ සමුළුවක් පැවැත්වීමට තීරණය කිරිම පිළිබදව තමන් සතුටට පත්වන බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළුවලට පොදුවේ අනෙකුත් පළාත් සභා සමග තමන් ද මුහුණ දෙන බවත්, ද‍ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් නිරන්තරයෙන්ම පවතින ගැටළු අවම කරගෙන සෞඛ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාම පිළිබදව දැනුවත් කිරිම් අත්‍යාවශ්‍ය බවත්, මෙවැනි සාකච්ඡාවක් තුලින් තව තවත් දැනුවත්භාවයන් ලබාදීම තුළින් රටේ ජනතාවට සෞඛ්‍ය ප්‍රශ්ණ අවම වූ වඩාත් ප්‍රශස්ත සේවාවක් ලබාදිය හැකි බව ද පැවැසීය.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කියා සිටියේ තමා සෞඛ්‍ය සමුළුව සදහා වසර 15 ක් පුරා සහභාගි වූ බවත්, මෙම සමුළුව තුලින් පළාත් මහඇමැතිවරයා හැටියටත්, පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියටත් විශාල ප්‍රයෝජන සබරගමු පළාතට ලබාගැනීමට හැකි වූ බවත් පැවැසිය. නමුත් පළාත් සභා සමග වූ සම්බන්ධතාවය පසුගිය කාලයේ ඇති වූ අර්බුධකාරි තත්ත්වයන් තුළ බිදීමක් සිදුවූ බවත්, සමගිසම්පන්න සම්බන්ධතාවයක් නොමැති වූ බවත් පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම සමුළුව පවත්වන්නේ මුළු මහත් රටේම ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් බව ද පැවැසීය ‍. වගකීම් පැවරුණ විෂයන් ඇතුලත ප්‍රධාන විෂයක් ලෙස සෞඛ්‍ය සේවාව සළකන බවද කීය. ගැටළු ඇතිවිමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා දුරස්ථව කටයුතු කිරීම නිසා බවත්, අඩුපාඩු ඇතිවිය හැකි බවත් එවා අවම කිරිමට මෙන්ම පළාත් සභා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරිමට මෙම සමුළුව හේතු සාධක වනු ඇති බව ද කීය.

    මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ඡේ.එම් මුසම්මිල්, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස් එම් චාල්ස්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තීල් තොණ්ඩමන් යන මහත්ම මහත්මින් එක්ව සිටි අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya