මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද සම්බාහන ශිල්පීන්ට NVQ 04 මට්ටමේ ගුණාත්මක අධ්‍යාපනයක් 

    අප්‍රේල් 05, 2023

    ආයුර්වේද සම්බාහන ශිල්පීන්ට NVQ 04 මට්ටමේ ගුණාත්මක අධ්‍යාපනයක් 

    නිපුණතාවය සහිත සම්බාහන ශිල්පීන් බිහි කිරීම, ආයුර්වේද සම්බාහන ශිල්පය ප්‍රමිතිකරණය තුළින් දේශීය හා විදේශීය රැකියා අවස්ථා බිහි කිරීම, වෛද්‍ය හා සුවස්තතා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම, ප්‍රජාවගේ ආර්ථික තත්වය හා ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ලොව පිළිගත් වෘත්තීය අධ්‍යාපනයකින් සමන්විත වෘත්තිය ආයුර්වේද සම්බාහන ශිල්පීන් බිහි කරලීම උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම 04 සඳහා ජාතික නිපුණතා සම්මතයන් සහ නිපුණතා පදනම් වූ විෂය නිර්දේශය එළි දැක්වීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (04) දින මහරගම නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරිණ.

    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙල ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ තෘතිය සහ වෘත්තීය අධ්‍යාපන කොමිසම එක්ව ආයුර්වේද සම්බාහන ශිල්පී ජාතික නිපුණතා මට්ටම 04 සඳහා වූ ජාතික නිපුණතා සම්මතයන් සහ නිපුණතා පදනම් වූ විෂය නිර්දේශ අන්තර්ජාලය වෙත නිකුත් කිරීම එහිදී සිදු කෙරිණ.

    එම අවස්ථාවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා,

    ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා NVQ 04 මට්ටමේ ගුණාත්මක පාඨමාලාවක් හඳුන්වා දීමට කටයුතු කිරීමට ලැබීම අප ලද ජයග්‍රහණයක්. මෙම ක්ෂේත්‍රය සඳහා දේශීයව මෙන්ම විදේශීයව විශාල ඉල්ලුමක් පවතිනවා. මේ වන විට ජපානයෙන් පමණක් ආයුර්වේද සම්බාහන ශිල්පීන් 500 ක් සඳහා රැකියා අවස්ථා ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම විවිධ රටවලින් විවිධ සුදුසුකම් සහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. නමුත් ජපානය, කොරියාව වැනි රටවල රැකියා අවස්ථා සඳහා අදාළ භාෂා කුසලතාවය නොමැති වීමයි ගැටළුව වී තිබෙන්නේ. අප NVQ 04 මට්ටමේ පාඨමාලාවක් සකසනු ලබන්නේ එම අවශ්‍යතා සම්පූර්ණ කරමින් සුදුසුකම් ලත් සම්බාහකයින් පිරිසක් බිහි කරලීමේ අරමුණින්. අපිට විදේශ මුදල් නොමැතිව විශාල අර්බුධයක ඉන්න මෙහොතක මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් රටට විශාල මුදලක් උත්පාදනය කර දිය හැකියි. අපි කළ යුත්තේ රට ගොඩ නගන්න උදව් කරන එකයි. මම ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට උපදෙස් දුන්නා රාජ්‍ය මැදිහත් වීම මත ක්‍රියාත්මක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන 50 ක් ආරම්භ කරන ලෙසට.

    මේ වන විට හැම තැනම සම්බාහන මධ්‍යස්ථාන තිබෙනවා. හැබැයි ඒ ළගින් නෙවෙයි, ඒ පැත්තකින්වත් යන්න ලැජ්ජයි. ලංකාවේ ස්පා කියලා නම ගහලා තියෙන තැනකින්වත් යන්න ලැජ්ජයි. ඒ තරම් මේ විශේෂ වෛද්‍ය ක්‍රමය විකෘති වී තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ අළුත් ක්‍රමය, අළුත් වැඩපිළිවෙල හඳුන්වා දුන්නේ. අපි අළුතින් හිතලා අපේ ඉදිරි පරම්පරාව වෙත මේ දේශීය වෛද්‍ය ක්‍රමය දායද කළ යුතුයි. මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි. අපි මේ වන විට ආයුර්වේද ක්ෂේත්‍රයේ සුවිශාල පරිවර්තනයක් සිදු කර තිබෙනවා. මේ වන විට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මේ රටේ සක්‍රීයම අමාත්‍යාංශය බවට පත් කර තිබෙනවා. හැමවෙලේම වැඩ කරන ආයතනයක් බවට පත් කර තිබෙනවා. මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් පමණක් දියුණු කළ හැකියි. ඒ සඳහා සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අප හා එක්ව කටයුතු කරන ලෙස ඔබ සැම සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    එම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මැතිතුමන්, ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමර්ශන චතුරංග, ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිනි සාගලා අබේවික්‍රම, තෘතිය සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂ (ජාතික වෘත්තීය සුදුසුකම්) ආචාර්ය අජිත් පොල්වත්ත, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධ්‍යක්ෂ ඉංජිනේරු චන්න සුබසිංහ යන මහත්ම මහත්මීන්, වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya