ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත , සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ (02) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමිනි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සහ අදහස් ලබා ගැනීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකින්ම ආර්ථික විද්‍යා අධ්‍යනාංශවල දක්ෂතම සිසුන් දස දෙනකු යොමු කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දැනුම් දුන්නේය. ඒ අතරින් සිසුන් පිරිසකට පිළිගත් විදේශ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට නිෂ්පාදන හා සේවා ස්වයංක්‍රීය ක්‍රමයකට යා යුතු බවත්, එසේ නොවුවහොත් ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමඟ තරග කළ නොහැකි බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය අලුතින්ම සකස් කළ යුතු බව ද පැවසීය.
කෙසේ නමුත් 18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් , මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා , විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දක්වන ලද අදහස්වල සාරාංශයක් පහත දැක්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද කියා ඡන්දයක් විමසීමට බලාපොරොත්තු වෙනවා. සෑම කෙනෙක්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී කිසියම් හෝ ස්ථාවරයක් ගත යුතුයි. ඒ නිසා මේ වැඩසටහනට සහය ලබා දෙන ලෙස අප යෝජනාවක් ඉදිරිපත් කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවේ තිබෙන ප්‍රධාන කරුණු නීතියක් හැටියට ගෙන එන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහි යම් වෙනසක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට යන්න ඕන. එහි මූලික අංශ මැයි මාසයේ ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ග්‍රාමීය අංශ දැනුම්වත් කරනවා. දෙවනුව හරිත ආර්ථිකය ඇතුළු අපේ වැඩසටහන් මොනවාද යන්න දැනුම් දෙනවා. මුලින්ම අපි අපේ මේ වැඩසටහන්වල ප්‍රතිචාරය අර ගනිමු.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ඉදිරියේදී ගෙන ඒමට තිබෙනවා. මේ පනත් තුනම එකට ගේන්න එපා කියලයි අධිකරණ ඇමැතිවරයා සහ අගවිනිසුරුවරයා ඉල්ලා සිටින්නේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවාට අවධානය යොමු කිරීමට අපහසු නිසා සහ තවත් හේතු කිහිපයක් නිසයි. ඒ නිසා අප්‍රේල් මාසයේ අවසානය වන විට එක කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත බව මම විශ්වාස කරනවා. ඉන් අනතුරුව අනිත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. කෙසේ හෝ ජූනි මාසය වන විට කෙටුම්පත් තුනම ගෙන ඒමට කටයුතු කරනවා.
විශේෂයෙන්ම නවීකරණ වැඩසටහන යටතේ අපේ අරමුණ වෙන්නේ තරගකාරීත්වය සමඟ නිෂ්පාදනය වැඩි කිරීමයි. තරගකාරීත්වය සහ නිෂ්පාදනය කියන අංශ දෙකම ඉදිරියට ගත යුතුයි. ඒ සඳහා අපට එක්ව වැඩකටයුතු කරන්න පුළුවන්. අප බැලුවේ ආණ්ඩුවේ තිබෙන පර්යේෂණ ආයතනත්, අනිකුත් ආයතනත් එකතු කර වෙනමම කෘෂි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඇති කරන්න. අවශ්‍ය නම් ප්‍රශ්චාත් උපාධි පාඨමාලාද ඇති කළ හැකියි. අප මෙමගින් බලාපොරාත්තු වන්නේ පර්යේෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. තාක්ෂණය යොදා ගත හැකි ආකාරය සම්බන්ධවත් එයින් බැලීමට හැකියාව තිබෙනවා. එසේ නම් සියලු අංශ එකට එකතු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම සෑම කෙනෙක්ම කියවා තිබෙනවා. ඒ ගැන මෙතැන ඉන්න අයට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපට දෙන්න පුළුවන් ඕනෑම විසඳුමක් ලබා දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රාමුව තුළ පමණයි. එයින් පිට යන්න බැහැ. අපට මාස හයක රාමුවක් ලබා දී තිබෙනවා. අප වැඩ කටයුතු කළ යුත්තේ ඒ රාමුව තුළ පමණයි.
ගොවි ජනතාව, සංචාරක ව්‍යාපාරිකයන් පවා කියන්නේ මෙය අවශ්‍ය බවයි. බහුතරයේ මතයද එයයි. වෘත්තීය සමිති කියනවා පෞද්ගලිකරණය කරන්න එපා කියා. ඉතිං මොකක්ද කරන්න කියන්නෙ. ඒවාට වියදම් කරන මුදල්වලින් තුනෙන් එකක් විශ්වවිද්‍යාලවලට සහ පාසල්වලට දුන්නා නම් මීට වඩා දියුණුවක් තියෙනවා. ඒ සමඟ වැටුප් ප්‍රශ්නත් විසඳෙනවා. වෘත්තීය සමිතිවලට ඕන විදිහට වැඩ කරන්න බැහැ. යළිත් ඇෆ්ගනිස්තානයෙන් පිටුපස්සට ශ්‍රී ලංකාව වැටෙන්න දෙන්න බැහැ. ප්‍රතිසංස්කරණ කරන්න ඕන. රටේ ප්‍රතිසංස්කරණයක් විය යුතුයි කියා විපක්ෂයත් දැන් පිළිගෙන තිබෙනවා.
කර්මාන්ත ඇති කරන්න අපි පනතක් ගෙනවිත් තිබෙනවා වගේම, කොමිසමක් ද පත් කර තිබෙනවා . ඒත් අපි කර්මාන්තකරණය ඉදිරියට ගෙන ගියේ නෑ. අපට වුවමනා වුණේ යුද්ධයෙන් සාමය ලබාගන්න.
1983-1987 සඳහා යෙදවුවට වඩා විශාල මුදලක් සිවිල් යුද්ධය සදහා යොදවා තිබෙනවා. යුද්ධය අවසන් වූ පසුවත් අප නැවත කර්මාන්තකරණයට ගියේ නැහැ. ඒ වෙනුවට අප ගිහින් තියෙන්නෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩසටහන් සඳහායි. 2009දී අප කාර්මිකකරණයට ගියා නම් ඕනතරම් ආයෝජන පැමිණෙන්න තිබුණා. නමුත් අප කොන්දේසි දැම්මොත් ඒ ආයෝජන එන්නේ නැහැ. තත්ත්වය හොඳයි නම් පළමුව එන්නේ විදෙස් ආයෝජකයන් නෙමෙයි, විදේශ බැංකු ගිණුම්වල සල්ලි තියාගත්ත අපේ ආයෝජකයන් තමයි පළමුවෙන් පැමිණෙන්නේ. ඊට පස්සේ තමයි විදේශ ආයෝජකයන් එන්නෙ.
වසර 30කින් අවසන් කරන්න තිබුණු මහවැලි යෝජනා ක්‍රමය වසර 10 කින් අවසන් කරන්න ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ කටයුත්තෙ නිරත සියළු ආයතන එකවර ලංකාවට ගෙනාවා. එහිදී ශ්‍රී ලංකාවේ ජනතාවට මුදල් ලබාගැනීමේ ක්‍රමවේද සැකසුණා. ඒ මගින් දියුණු වූ කණ්ඩායම් ඉන්නවා . ඒ අය දැන් වෙන ව්‍යාපෘති සඳහා ආයෝජන සිදු කරනවා.
අද අපිට මේ වැඩකටයුතු ආරම්භ කිරීමට සිදුව තිබෙන්නේ එවැනිම තත්ත්වයක සිටයි. අපේ අය බිය වී සිටිනවා ආර්ථිකය කඩාවැටී තමන්ගෙ ව්‍යාපාර බිඳ වැටෙයි කියා. ඒ නිසා මුදල් ලන්ඩන්, ඩුබායි වැනි විදේශ ස්ථානවල තියාගෙන ඉන්නවා. ඔය සල්ලි ටික ආපහු ගේන්න පුළුවන් නම් එය ඉතාම වැදගත්.
අපට පුළුවන්ද විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යාව හදාරන අවසන් වසරේ සිටින සිසුන් ගෙන් දක්ෂ සිසුන් දහ දෙනෙක් ලබා දෙන්න, මේ නිලධාරීන්, අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කරන්න. අපි දක්ෂ සිසුන් හතර දෙනකුට විදේශ ශිෂ්‍යත්වයක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. හාවඩ්, කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් හා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාල වල ඒ අවස්ථා ලබා දීමට අප කටයුතු කරන්නම්.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
අද අපි කතා කරන්නේ ආර්ථික විශේෂඥයන් සමඟයි. මේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකාවේ සරසවි ආචාර්යවරුන් සමඟ ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවක්. කැබිනට් මණ්ඩලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍යය බව පැවසූ විට කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගිය ඇමතිවරුන් ඉන්න රටක් මේක.
අපට සිදුවුණා උද්ධමනය පාලනය කිරීම සඳහා බැංකු පොලිය වැඩි කිරීමට. ආනයනය පාලනය කරන්න සිද්ධ වුණා. මේ නිසා ජනතාව විශාල පීඩාවකට පත්වූ බව අපි දන්නවා. ජන ජීවිතයේ පහළ මට්ටමට වගේම මධ්‍යම පාන්තිකයන් හටත් මේ තත්ත්වය බලපෑවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හැර වෙනත් විකල්පයක් අපට තිබුණෙ නෑ. ජනාධිපතිතුමා මීට අවුරුදු විස්සකට පෙරත් මේ ගැන කතා කළා. අපි එදා හිටියෙ මීට විරුද්ධ පැත්තේ. එදා අපේ පැත්ත හරි ජනප්‍රියයි. හැබැයි ඒ තීන්දුව වැරදි බව අපි දැන් දන්නවා. ඔබතුමාලා ආර්ථික විශේෂඥයින්. දැන් ජනාධිපතිවරයා කිව්වා අපි 18 වෙන වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියලා. ඒ වගකීම වෙනුවෙන් අපි කැප වෙලා වැඩ කිරීමට අවශ්‍යයි. එහිදී ඔබලාගේ දායකත්වය අප අපේක්ෂා කරනවා.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
වෘත්තීය සමිතිවල සාකච්ඡාවකට එහා ගිය වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් තමයි මෙතැන සිදු වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 16 වතාවක් ගිහිල්ලත් සාර්ථක වීමට නොහැකි වුණේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකළ නිසයි. සාකච්ඡා මාර්ගයකින් තමයි බදු වැඩි කිරීම සිදු වුනේ. දැන් ඒ ඇති කර ගත් එකඟතා ඉවත් කිරීම රටක් විදිහට ප්‍රායෝගික නැහැ. බදු පැකේජය ඉවත් කරන්න පුළුවන් ක්‍රම දෙකයි තිබෙන්නේ. එකක් තමයි මීට වඩා අය බදු ගෙවීමට එකතු කර ගැනීම. දෙවැනි ක්‍රමය තමයි රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම. මේ දෙකම කෙටි කාලයකින් කරන්න බැහැ. පෞද්ගලික අංශය යම් යම් වෙනස්කම් කරලා තිබෙනවා. මේක සාර්ථකව ක්‍රියාත්මක කළොත් ඊළඟ අවස්ථාවේ ජනතාවට සහනයක් ලබා දෙන්න පුළුවන්. ඉහළ ආදායම් ලබන පිරිස් තමයි මේ තත්ත්වය මාස 06ක කාලය දරා ගත නොහැකි බව කියමින් විවේචනය කරන්නේ.
ඒ වගේම නිෂ්පාදිත ආර්ථිකය කියන්නේ යම් කිසි රටක් භාණ්ඩයක් නිපදවීම මගින් ලබා ගන්නා ආර්ථික වාසියයි. දළ දේශීය නිෂ්පාදනයෙන් ආදායම වැඩි වෙන්නේ භාණ්ඩ හා සේවා නිපදවීම තුළිනුයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දී අගය එකතු කිරීමක් සිදු වුණොත් මේ සභාවේ මතු වූ ආකාරයට විශාල ආදායම් ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් තරුණ පරම්පරාව කෘෂිකර්මයට යොමුවීමට නම් එය මීට වඩා තවත් කාර්යක්ෂම විය යුතුයි. නමුත් දැන් පිටරට යන තරුණ තරුණියන් වැඩ කරන්නේ කෘෂිකර්මාන්තයේ නොවෙයි.ඔවුන් වැඩ කරන්නේ සේවා අංශයේයි .
කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට හතයි. නමුත් ඒ අංශයේ වැඩ කරන ප්‍රමාණය සියයට විසිහතයි. කෘෂිකර්ම නිෂ්පාදනය වැඩිදියුණු කිරීම තුළින් සේවා අංශයේ වැඩ කරන කෙනෙකුගේ ආදායම් ලබාගන්නට හැකි විය යුතුයි. රට ගොඩනඟන්න නම් නිෂ්පාදනය සහ සේවා යන අංශ දෙකෙහිම සංවර්ධනය අවශ්‍යයයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය පිළිබඳව සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විවෘත ආරාධනයක් කිරීම විශ්වවිද්‍යාල පද්ධතියට කළ ගෞරවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශ්වවිද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු, ආචාර්යවරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයන් වගේම මීට තරුණ ආචාර්යවරු පවා සහභාගි වීමෙන් ඒ වටිනාකම දකින්න ලැබෙනවා.
රටේ ආර්ථික අර්බුදයක් කියන්නේ මොකක්ද කියා අප අත්විඳිනවා. අවුරුදු ගණනක් තිස්සේ ණය ගැනීම ගැන සමාජයේ කතාබහක් යනවා. විකල්ප යෝජනාවක්, විකල්ප ආකෘතියක් තිබෙනවා නම් අපිත් එය දැන ගන්න කැමතියි. මේ වැඩපිළිවෙළට පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ විරුද්ධ වෙනවා නම්, විකල්ප ආකෘතිය ඉදිරිපත් කරන්න කියා ඔවුන්ට කිව යුතුයි.
දිගින් දිගටම පාඩු ලැබීමෙන් පසු ඉන්දියාව මෑතකදී සිය ගුවන් සේවය වන එයාර් ඉන්දියා පුද්ගලික අංශයට පවරනු ලැබුවා. ඉන්දියාවට නැති, බිලියන ගණනක පාඩු ඇති ගුවන් සමාගමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ඇයි?
අර්බුදකාරී අවස්ථාවේ දී අපට සමාන අර්බුදයක් තිබූ නවසීලන්තය අර්බුදයෙන් ගොඩ ඒම සදහා 1980 ගණන්වල ගත් තීරණ සහ ඉන් මිදුණු ආකාරය අධ්‍යයනය කළ යුතුයි. ප්‍රධාන වශයෙන්ම ඔවුන් අර්බුදයෙන් ගොඩ එන්න විශිෂ්ඨ ප්‍රතිපත්ති හදලා තියෙනවා. ඔවුන් කළේ අර්බුදයෙන් රජයට ඇති ආර්ථික බර අඩු කර පෞද්ගලික අංශය ව්‍යාපාර කරගෙන යාමට යොමු කිරීමයි.
වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා
විද්වත් කණ්ඩායමක් සමඟ එක්ව අප කෘෂි ආහාර පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කළා. එය නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද අනුව තමයි සකස් කර තිබෙන්නෙ. මෙය එක වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් විශාල වැඩකොටසක් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවටත් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රේමකුමාර් ද සිල්වා මහතා -
ගෝලීය ආර්ථිකයත් සමග ගැටගසා නැති විශාල පිරිසක් අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල සිටිනවා. ඒ පිරිස් කෙරෙහි පර්යේෂණයක් කිරීමට මගේ උනන්දුවක් තිබෙනවා. සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැපිළිවෙළ යටතේ ග්‍රාමීය දුප්පතුන් ඉහළට ගන්න ඕන. මධ්‍යම පන්තියේ පුරවැසියෙක් විදිහට මටත් අර්බුදයේ බලපෑමක් තිබෙනවා. අපි හැමෝම යම් කැප කිරීමක් කරන්න අවශ්‍යයි. ආර්ථිකයට ගැටගැසී නැති විශාල තරුණ පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට වෘත්තීමය දැනුමක් දෙන්න අවශ්‍යයි. වෘත්තීය පුහුණු ආයතන විශාල ප්‍රමාණයක් රටේ තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වන ආකාරය කවුරුත් දන්නෙ නැහැ. අපි ස්වයං විවේචනයක් සමඟ මේ ගමන ඉදිරියට යා යුතුයි.
මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා -
ණය අරන් ඉදිරියට යන්නේ කොහොමද කියන විශ්වාසය රටේ ජනතාවට තවමත් පැහැදිලි නැති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ පිළිබඳ ජනතාවට යම් පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. රටේ සංවර්ධනය ගැන තවදුරටත් ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍යයි. ණය ගෙන සිදුකරන රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව ජනතාව තුළ විශ්වාසයක් ඇති කළ යුතුයි. මාස හයක කාලයක් ඉවසා සිටින්න නම් බදු වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයක් තිබිය යුතුයි. විනිවිදභාවය ගැනත් කතිකාවක් ඇති විය යුතුයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා
රටේ ආර්ථිකයට ජනාධිපතිවරයා ලෙස ඔබතුමා ගන්නා තීන්දු තීරණ පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. අකාර්යක්ෂම රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරන්නත්, තරගකාරී ආර්ථිකයක් ඇති කිරීම ගැනත් ඔබතුමා සඳහන් කරනවා. නමුත් අද අපේ රටේ පෞද්ගලික අංශයේ සේවා සපයන තැන් වලත් බරපතළ ප්‍රශ්න තිබෙනවා. ප්‍රවාහනය ගත්තත්, අධ්‍යාපනයට අදාළ සේවා ගත්තත්, සෞඛ්‍ය සේවා ගත්තත්, බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය, බේකරි නිෂ්පාදනයන්ගේ සංගමය, ඔවුන් තමයි මිල තීරණය කරන්නෙ.
ඒ නිසා පෞද්ගලික අංශයේ තරගකාරීත්වය පවත්වාගෙන යාම හා වෙළඳපළ බිඳවැටීම සම්බන්ධ යෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කිය මම ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. නමුත් මේ ණය ගැනීමේදී කොහොමද අපි අඩු පිරිවැය සහිත ණය මූලාශ්‍ර පිළිබඳ අවධානය යොමු කරන්නෙ. ඒ පිළිබඳව අවධානය යොමු කරනවා නම් වැදගත්. ඔබතුමා යම් අවස්ථාවක කියලා තිබෙනවා හරිත ආර්ථිකයක් පිළිබඳව. ඒ සම්බන්ධවත් තව ඉදිරි වැඩ කොටසක් කිරීමට තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා,
පසුගිය ආර්ථිකය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් අපි ස්වයං විවේචනයකට යා යුතුයි. දෙවන කරුණ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව මේ සියලු දෙනාම බලන්නේ අතීත අත්දැකීම් එක්ක. ඒ ගත් ණය වලින් සිදු කළේ මොනවද? ඒවායින් තිබෙන ප්‍රතිලාභ මොනවද ? මහජනතාවට ඒ පිළිබඳ තියෙන්නේ යහපත් ආකල්පයක් නොවෙයි. මේ වෙනකොට තිබෙන මහජන ආකල්පය තමයි ලබා ගත් ණය නිසියාකාරව ආයෝජනය කර නොමැති බව. ඒ නිසා අප යහපත් ආකල්පයක් ඇති කිරීම සඳහා යොමු විය යුතුයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය
මම අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්ව සහතික කිරීමේ අංශයේ දීර්ඝ කාලයක් වැඩ කරලා තිබෙනවා. අපගේ උසස් අධ්‍යාපන ක්‍රමයට, ආර්ථිකයේ පුනර්ජීවනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි මට්ටමක ඇති බව මට ඒත්තු ගොස් තිබෙනවා. නමුත් අප භාවිතා කරන ආදර්ශය සහ ප්‍රවේශය පිළිබඳව නැවත සලකා බැලිය යුතුයි. අපට අනිවාර්යයෙන්ම උගත් ශ්‍රම බලකායක් අවශ්‍යයි. ඒ නිසා අප උසස් අධ්‍යාපනය සඳහා පවතින ප්‍රවේශය පුළුල් කළ යුතුයි. නමුත් අපේ රාජ්‍ය අංශයේ ඇති උසස් අධ්‍යාපන අංශය තුළින් පමණක් එය සිදුකළ නොහැකියි. එසේ නම්, රාජ්‍ය නොවන පුද්ගලික උසස් අධ්‍යාපන අංශය පැහැදිලිවම පුළුල් කිරීමට අවශ්‍යයි. නමුත් එය ඉතා හොඳ නියාමන ක්‍රමවේදයක් ඔස්සේ සිදු කළ යුතුයි.
ආචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ විවාදය මම කෝණ දෙකකින් සාකච්ඡා කරනවා. පළමුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති හේතුවෙන් මිනිසුන් මුහුණ දෙන අභියෝග සහ දෙවනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය අපේ රටේ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබා දෙනවාද යන්නයි 2000 සිට 2020 දක්වා බිලියන 90 කට වඩා වැඩි වූ ගෙවුම් ශේෂ හිඟයේ මූලික අංගයක් වූ වෙළඳ හිඟය එක් මූලික ප්‍රශ්නයක්. මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම තීරණාත්මකයි.
අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දැන් උසස් තත්ත්වයේ පවතිනවා. අපට ඔවුන්ව නව්‍යකරණය කිරීමට සහ අපනයන කෙරෙහි අවධානය යොමු කරවීමට හැකි නම්, ඔවුන්ට වටිනාකම් දාමයට සම්බන්ධ විය හැකියි. සංචාරක ව්‍යාපාරය සහ ප්‍රේෂණ ද වැදගත්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී ළමාවංශ මහතා
අප මුහුණ දෙන දුෂ්කරතා තේරුම් ගෙන, කාර්ය මණ්ඩල හිඟය තිබියදීත් නාස්තිය අවම කිරීමට සහ පසුබෑම ඉවත් කිරීමට අපි විශ්වවිද්‍යාල මට්ටමින් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. මෙම දුෂ්කර කාල පරිච්ඡේදය තුළ සාර්ථකව කටයුතු කිරීමට කාර්ය මණ්ඩලය සහ සිසුන් ලබා දෙන සහයද ද අගය කළ යුතුයි. දැන් අපගේ අවධානය යොමු වන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා මෙන්ම ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම කෙරෙහියි. දැනට අපට ජාත්‍යන්තර සිසුන් 50 ක් පමණ සිටිනවා. මාස කිහිපයකින් අපට තවත් සිසුන් බඳවා ගැනීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇනාස් කාදර් මහතා
මෙය අප දුටු පළමු පහළ සිට ඉහළට යන ප්‍රතිපත්ති ප්‍රවේශයයි. එය ඉතා හොඳ මුලපිරීමක්. අපි හැමෝටම හොඳ අදහස් තිබෙනවා. ආර්ථික විශේෂඥයින්ට ඔවුන්ගේ අදහස් සහ ප්‍රතිපත්ති කෙටුම්පත් කර ඒවා ක්‍රියාත්මක කිරීමට පවා හැකි පරිදි ආයතනයක් ඇති කිරීම හොඳ පියවරක්.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ. රමීස් මහතා
නැඟෙනහිර පළාතේ ජනතාව තුළ සුබවාදී හැඟීමක් තිබෙනවා රට යළි නඟා සිටුවීමට ජනාධිපතිතුමා යමක් කරයි කියලා. Payee Tax හරහා රු. බිලියන 100ක් උපයගන්න රජයට හැකි වුනා. කෙසේ වෙතත්, අනෙක් අතට, මාස අටක් තුළ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ලංවිම පාඩු හේතුවෙන් රජයට රුපියල් බිලියන 113-117 ක් පමණ පාඩු වුණා. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පාඩුව වසරකට රුපියල් බිලියන 600 කට ආසන්න යි. ඒ නිසා රජය සතු මේ සියලු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල අවශ්‍යතාවක් තිබෙනවා. ඉතින් ජනාධිපතිතුමනි ඔබ නිවැරදි මාර්ගයේ යන අතර මෙම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේදී ජනතාව ඔබට සහාය වනු ඇති බව මම විශ්වාස කරනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා -
ඉදිරි මාස හයක කාලය තුළ අපට කිසිම බදු සහනයක් ලැබෙන්නෙ නැති බව අප දන්නවා. නමුත් අනෙක් සියලුම විද්වතුන්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුව සිටින්නේ ඒ හරහා යමක් වනු ඇතැයි යන විශ්වාසයෙන්. නමුත්, එය සිදු නොවන බව අපි දන්නවා. මම අපේ පාර්ශ්වයෙන් ඇහුවාම ඔවුන් කිව්වේ සාකච්ඡා අසාර්ථක බව වෘත්තිය සමිති නායකයන් ලිඛිතව දැනුම් දී නැති බවයි. ඒ නිසා මම හිතනවා මේ යෝජනා මාස හයක් ගත වන තුරු සාකච්ඡා කිරීමට නොහැකි බව මේ පිරිසට අවබෝධ කර දිය යුතුයි. නමුත් ඔවුන්ට කිව යුතුයි මාස හයකට පසුව ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට සූදානම් බව.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා
වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාස හයකින් සාකච්ඡා කරන බව ඉතා පැහැදිලිව සන්නිවේදනය කර තිබෙනවා. අපි නිලධාරීන් සමඟ සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ පවා විවිධ සාකච්ඡා වට පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධව, මෙම වෘත්තීය සමිති නායකයින්ට දන්වා ඇතත්, ඔවුන් තේරුම් ගැනීමට අකමැති වීම හෝ නොතේරෙන ලෙස පෙනී සිටීම කණගාටුවට කරුණක්. නමුත් අපි මේ පණිවිඩය නිවැරදිව ලබා දිය යුතුයි. මේ වෘත්තීය සමිති නායකයින් නිසි පණිවිඩය සන්නිවේදනය නොකරනවා නම්, ඔවුන්ට වෘත්තීය සමිති නියෝජිතයන් විය හැකිද යන ප්‍රශ්නය තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා
යම් කොටසකට යම් බලපෑමක් ඇති වී තිබීම සත්‍යයක්. රටේ රාජ්‍ය මූල්‍ය දැඩි කඩාවැටීමකට ලක් වෙලා තිබුණේ. දශක ගණනාවක් තිස්සේ තිබූ පුරුදු එකපාරටම වෙනස් කරන්න බැහැ. රාජ්‍ය මූල්‍ය විනය අනිවාර්යයෙන්ම හදාගත යුතුයි. බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. තාක්ෂණය යොදාගෙන බදු පදනම පුළුල් කිරීමට ජනාධිපතිතුමා අපට උපදෙස් දී තිබෙනවා. එහිදී එල්ල වන්නේ තාවකාලික බලපෑමක් පමණයි. රාජ්‍ය ආදායම වැඩි වෙන විට ක්‍රමානුකූලව බලපෑම පහව යනු ඇතියි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.