අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක්

    මාර්තු 11, 2023

    ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක්

    1. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙතෙක් ප්‍රමාද වී ඇති සියලු වාර්ෂික වාර්තා මාසයක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුවෙන් නිර්දේශයක්

    2. රක්ෂණ සංස්ථාව යටතේ මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ඇති විශාල මූල්‍ය පාඩුවක් ලබා තිබෙන ශාඛා ද්විත්වය විධිමත් ආකාරයට වසා දැමීම සඳහා කෝප් කමිටුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිරීක්ෂණ යැවීමට පියවර
    3. රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමට රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවෙන් උපදෙස්

    4. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට සම්බන්ධ ව්‍යාජ තැරැව්කරුවන්ට එරෙහි අපරාධ විමර්ශන කොට්ඨාශයේ විමර්ෂණ වල ප්‍රගතිය පිළිබඳවද වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට කෝප් කමිටුවෙන් උපදෙස්

    5. දිගු කාලීන රක්ෂණ ව්‍යාපාරය සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය වෙන වෙනම සමාගම් දෙකකට වෙන් කිරිම සම්බන්ධව තීරණයක් කඩිනමින් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කෝප් කමිටුවෙන් නි‍ර්දේශ

    6. රක්ෂණ සංස්ථාවේ ඉදිරි වෙළඳ ප්‍රවර්ධණ උපායමාර්ගික සැලසුම් පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මනින් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන විධායක නිලධාරි වෙත නිර්දේශ කෙරේ.

    7. රක්ෂණාවරණ ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ නිසි පරිදි රක්ෂණ හිමියන් දැනුවත් කිරීමට පියවර ගන්නා කෝප් සභාපතිවරයා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට දැනුම් දෙයි.


    8. සංස්ථාවේ පූර්ණ මානව සම්පත් විගණනයක් සිදු කොට වාර්තාවක් මාස හයක් තුළ කමිටුවට ඉදිරිපත් කරන ලෙස රක්ෂණ සංස්ථා සභාපතිවරයාට කෝප් කමිටුවෙන් දැනුම්දීමක්.

    9. ආයතනයේ ඉහළ කළමණාකාරිත්වයේ 93 දෙනෙක් සඳහා වැටුප් ගෙවීමට රුපියල් මිලියන 700ක් වැය කෙරෙන මැනේජ්මන්ට් සර්විස් රක්ෂණ සමාගම පිහිටුවා තිබීමේ අවශ්‍යතාව පිළිබඳ මතය දන්නවන්නැයි රක්ෂණ සංස්ථා සභාපතිවරයාට කෝප් කමිටුව යෝජනා කරයි.

    10. ටෙන්ඩර් කැඳවීමකින් කැබිනට් අනුමතියකින් රක්ෂණ සංස්ථාව මගින් තනි පාර්ශවයකින් ලන්සු කැඳවා ඩොලර් 100ක ලන්සු වටිනාකමකට විදේශසේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ අරාබි රටවල විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අදාළ සංස්ථාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවෙන් රක්ෂණ සංස්ථා ප්‍රධාන විධායක නිලධාරීවරයාට නිර්දේශ.

     

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස් විය. සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ 2019, 2020 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.

    සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව 2021 වර්ෂ සඳහා සිය ආයතනික වාර්ෂික වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳ කෝප් කමිටු සභාපතිවරයා මෙහිදි විමසා සිටි අතර එලෙස වාර්ෂික වාර්තා ප්‍රමාද කිරිම මගින් ආයතනය විසින් පාර්ලිමේන්තුව මගහරින බවක් ගම්‍ය වන බවද පැවසීය. මෙහිදී කෝප් සාමාජිකයන් පෙන්වා දුන්නේ වාර්ෂික වාර්තා ප්‍රමාද වීම නිසා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ ආයතන වල වාර්ෂික මූල්‍ය තත්ත්වය නිසි අවබෝධයක් ලබා ගැනිමට නොහැකි වී ඇති බවයි.

    එහිදී රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ මේ වන විට අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. ප්‍රමාදය පැවතියේ පරිවර්තන කටයුතුවලදී බවත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් නිලධාරිහු පෙන්වා දුන්හ. ඒ අනුව කෝප් කමිටුව නිර්දේශ කළේ ප්‍රමාද වී ඇති සියලු වාර්ෂික වාර්තා මාසයක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසයි.

    එමෙන්ම සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව යටතේ මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ඇති විශාල මූල්‍ය පාඩුවක් ලබා තිබෙන ශාඛා ද්විත්වය තවමත් විධිමත් ආකාරයට වසා දැමීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී සංස්ථාවේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා පෙන්වා දුන්නේ මේ වන විට අදාළ ශාඛා ක්‍රියාත්මක නොවන නිසා ඒ වෙනුවෙන් මුදලක් වැය නොවන බව සහ ඒවායේ දැනට ඇති මුදල් ඒ ඒ රටවල ලංකා බැංකු ශාඛාවල තැන්පත් කොට ඇති බවයි. එමෙන්ම මාලදිවයිනේ දේශීය ආදායම් බදු අධිකාරියෙන් බදු නිශ්කාෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු අදාළ ආයතනය වසා දැමීමේ කටයුතු අවසන් කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය. මෙහිදී උක්ත කාර්යය අවසන් කිරීම වෙනුවෙන් කෝප් කමිටුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිය නිරීක්ෂණ යැවීමට පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.


    සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. ජනාධිපති ලේකම් කාර්යාලයට බදු පදනම මත ලබාදී තිබුණු රුපියල් 798,000,000 ක ඇස්තමේන්තුගත සාධාරණ වටිනාකමකින් යුත් දේපල එකඟ වූ පසුගිය වසරේ නැවත සංස්ථාවට ලබා දුන් නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යළිත් ලබා ගත් බව මෙහිදී අනාවරණය විය.

    මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ උක්ත දෙපාර්ශවයන් අතර පැවති සාකච්ඡාවේදී අදාළ ඉඩම භාවිත කළ කාලය සඳහා හිග කුලිය කොටස් වශයෙන් ගෙවීමටත් 2023 ජනවාරි සිට නව ගිවිසුමකට එළඹීමටත් ජනාධිපති ලේකම් කාර්යාලය එකඟ වූ බවයි.

    මෙහිදී කෝප් සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා සිටියේ සති දෙකක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

    ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට සම්බන්ධ ව්‍යාජ තැරැව්කරුවන්ට එරෙහි විමර්ෂණ වල ප්‍රගතිය පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය.මේ පිළිබඳ 2014දී අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි කර තිබෙන අතර එහි ප්‍රගතිය සහ වත්මන් තත්ත්වය පිළිබඳ කමිටුව විමසා සිටියේය. රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කොට තිබූ අවධියේ මෙම සිදුවීම සිදුව ඇති බවත් අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි කර තිබෙන නිසා ඒ පිළිබඳ සොයා නොබැලූ බවත් මෙහිදී ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේය. කෙසේවෙතත් ඒ පිළිබඳ සොයාබලා තත්ත්වය වාර්තා කළහැකි බවද හෙතෙම දන්වා සිටියේය.

    කෝප් කමිටුව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේ මේ පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා ව්‍යුහය තුළ දිගු කාලීන රක්ෂණ ව්‍යාපාරය සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය වෙන වෙනම සමාගම් දෙකකට වෙන් නොකිරිම පිළිබඳ කෝප් කමිටුව මෙහිදී නිලධාරින්ගෙන් විමසා සිටියේය.

    මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ කමිටුව විසින් කරන ලද සංසන්දනාත්මක විශ්ලේෂණයකට අනුව 2021දී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපොල 21%කින් වර්ධනය වි ඇති නමුත් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ ජිවිත රක්ෂණ වෙළඳපොල වර්ධනය වී ඇත්තේ 14%ක් බවයි. ලංකාවේ අනෙකුත් රක්ෂණ ආයතන සියල්ලම දිගු කාලීන රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ වෙන වෙනම පවත්වාගෙන යන බවත් සභාපතිවරයා පැවසීය.

    එහිදී සංස්ථා සභාපතිවරයා දැන්වූයේ රජයට අයිති ආයතනයක් ලෙස එසේ වෙන් කිරීම අත්‍යාවශ්‍ය නොවන නමුත් ඒ පිළිබඳ නිසි තීරණයක් ලබා දෙන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි. මේ පිළිබඳ කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර සභාපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ ලබා දුන්නේ මේ පිළිබඳ තීරණයක් කඩිනමින් ලබා දෙන ලෙසයි.


    ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වෙළඳපොල කොටස් වර්ධනය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳවද කෝප් කමිටුව සිය අවධානය යොමු කළේය. මෙහිදි නිලධාරීන් සඳහන් කළේ පසුගිය වසරේ තම වෙළඳපොල කොටස්වල යම් පසුබෑමක් ඇති වුවද මේ වන විට එය වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් පවතින බවයි.ඒ නිසාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි වන විට ජීවිත රක්ෂණ වෙළඳපොලෙහි සැලකිය යුතු වර්ධනයක් ඇතිවී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

    ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා‍ව සතු සම්පූර්ණ වත්කම් එකතුව රුපියල් බිලියන 184ක් බව පෙන්වා දුන් කෝප් සභාපතිවරයා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත නිර්දේශ කළේ රක්ෂණ සංස්ථාවේ ඉදිරි වෙළඳ ප්‍රවර්ධන උපායමාර්ගික සැලසුම් පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මනින් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසයි.

    රක්ෂණාවරණ ලබා ගැනීමේදී රක්ෂණ සමාගම් විසින් නිවැරදිව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් රක්ෂණ හිමියන් අපහසුතාවයට පත් වන බව කෝප් සාමාජිකත්වය මෙහිදි පෙන්වා දුන්නේය. විශේෂයෙන් රක්ෂණ‍ාවරණ ලබා ගැනීමේ අදාළ බිල් පතේ මුල් පිටපත ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවන්හිදී රක්ෂණ හිමියන් දැඩි අපහසුතාවයට පත්වන බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී සභාපතිවරයා දන්වා සිටියේ නිසි පරිදි රක්ෂණ හිමියන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ කාර්ය මණ්ඩලය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. විධායක නිලධාරිවරයා සඳහන් කළේ සිය සංස්ථාවේ ස්ථිර කාර්ය මණ්ඩලයේ 2535 ක් සහ කොන්ත්‍රාත් පදනම මත සේවකයන් 232ක් සේවය කරන බවයි. සේවකයන්ගේ කාර්ය සාදන මට්ටම් ඇගයීම පිණිස කාර්ය සාධක දර්ශකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය. සංස්ථාවේ පූර්ණ මානව සම්පත් විගණනයක් සිදු කොට වාර්තාවක් මාස හයක් තුළ කමිටුවට ඉදිරිපත් කරන ලෙස රක්ෂණ සංස්ථා සභාපතිවරයාට කෝප් කමිටුව දැනුම් දුන්නේය.

    රක්ෂණ සංස්ථාවේ ඉහළ කලමණාකාරීත්වයේ වැටුප් තල තීරණය කිරීම සඳහා මැනේජ්මන්ට් සර්විස් රක්ෂණ සමාගම නමින් ආයතනයක් පිහිටුවා තිබීමේ අවශ්‍යතාව පිළිබඳ කෝප් කමිටුව රක්ෂණ සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වයෙන් ප්‍රශ්න කළේය. ආයතනයේ ඉහළ කළමණාකාරිත්වයේ 93 දෙනෙක් සඳහා වැටුප් ගෙවීමට රුපියල් මිලියන 700ක් වැය කෙරෙන බව මෙහිදී අනාවරණය විය.

    මෙහිදී නිලධාරීන් සඳහන් කළේ රක්ෂණ වෙළඳපොළ ඉතාම තරඟකාරී එකක් බැවින් ඉහළ කළමණාකාරීත්වයේ වැටුතලවල රහස්‍යභාවය රැකීම අත්‍යාවශ්‍ය බවයි. මෙම සමාගම පවත්වාගැනීම පිළිබඳ නිවැරදි මතයක් සති දෙකක් තුළ දන්වන්නැයි කෝප් සභාපතිවරයා සංස්ථා සභාපතිවරයාට යෝජනා කළේය.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ශාඛාවල කාර්ය සාධනය පිළිබඳ සංස්ථාව විසින් නිසි ඇගයීමක් සිදු කොට නොමැති බවට කරුණු දැක්වූ කෝප් සභාපතිවරයා අදාළ ශාඛා සම්බන්ධ නිවැරදි තොරතුරු විගණකාධිපතිවරයා‍ වෙත ලබා දීමට කටයුතු කරන ලෙස දැන්ම් දුන්නේය.

    රක්ෂණ සංස්ථාව විසින් භාවිත කරන තොරතුරු තාක්ෂණ ජාලය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කළ අතර, අළුතින් ස්ථාපිත කිරීමට යොජිත තොරතුරු තාක්ෂණ ජාලය සහ ඒ සඳහා ආයතන තෝරා ගැනීම පිළිබඳවද කොප් කමිටුව මෙහිදී විමසා සිටියේය.

    2015දී විදේශසේවා නියුක්ති කාර්යාංශය විසින් අරාබි රටවල විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා අතර එය ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කිරීම සඳහා කැබිනට් අනුමතියක්ද ලබාගෙන තිබිණි. එය රක්ෂණ සංස්ථාව වෙත ලබාදී ඇති අතර සංස්ථාව විසින් තනි පාර්ශවයකින් ලන්සු කැඳවා ඩොලර් 100ක ලන්සු වටිනාකමකට ලබා දීම පිළිබඳ දීර්ඝ වශයෙන් කමිටුව ප්‍රශ්න කළේය. මිලියන ගණනක පාඩුවක් සිදුවූ මෙම ගණුදෙනුව පිළිබඳ විගණකාධිපතිවරයා විසින් කරන ලද විගණනයට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව කිසිදු තොරතුරක් නොමැති බවද කමිටුවේදී අනාවරණය විය.

    මෙහිදී සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා දන්වා සිටියේ සිය සංස්ථාව මගින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමක් සිදු කොට නොමැති බවත් සිදු කොට ඇත්තේ පරිපාලනමය කටයුතු පමණක් බව සහ ඒ සඳහා පමණක් ගෙවීමක් ලැබී ඇති බවයි.

    මෙහිදී කෝප් සභාපතිවරයා දන්වා සිටියේ නැවත විදේශ සේවා නියුක්ති කාර්යාංශය කමිටුව හමුවට කැඳවන අවස්ථාවේ රක්ෂණ සංස්ථාවේ නිලධාරීන්ද කැඳවීමට පියවර ගන්නා බවයි. එමෙන්ම මේ පිළිබඳ තොරතුරු සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ලේඛන සහිතව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයාවෙත කෝප් කමිටුව නිර්දේශ කළේය. එයට අමතරව රක්ෂණ සංස්ථාව සතු බොරැල්ල කිංසි පාරේ මෙගා බ්‍රාන්ච් ගොඩනැගිල්ල සම්බන්ධ විශේෂ විගණන වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් සභාපතිවරයා විගණකාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya