මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ආයෝජන ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමේදී පවතින ගැටලු කෙරෙහි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    පෙබරවාරි 11, 2023

    මෙරට ආයෝජන ආරම්භ කිරීමේදී ආයෝජකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.

    එම කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. සංචාරක
    සහ ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශය යන ආයතන නියෝජනය කරන නිලධාරීහු මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබිණි.

    මෙරට ඉඩම් නිදහස් කිරීමේදී පවතින සංකීර්ණ ක්‍රමවේදය හේතුවෙන් ඒ සදහා බොහෝ කාලයක් ගතවීමත් ආයෝජකයන් අපහසුතාවට පත්වීමත් බරපතල ගැටලුවක් බව මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එම නිසා අයෝජන අවස්ථා පහසුකර ඇති කලාපීය වෙනත් රටවලට එකී ආයෝජන ඇදීයාම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා පැවසීය. රජයට අයත් මෙරට ඉඩම් හිමිකාරීත්වය සහ ඒවායේ නෛතික කටයුතු
    සම්බන්ධයෙන් ආයතන ගණනාවක් අණපනත් කිහිපයක් යටතේ වෙනම පැවතීමත්, එම ආයතන අතර අන්තර් සම්බන්ධයක් නොමැති වීමත් බරපතල ගැටලුවක් බවත් කාරක සභාවේදී සාකච්ඡා විය. මේ නිසා ඉඩම් වර්ගීකරණය සිදුවිය යුත්තේ එම ඉඩම් පාලනය වන ආයතන අනුව නොව ආයෝජනයට සුදුසු එක් එක් ක්ෂේත්‍රවලට අදාළ වර්ගීරණයක් තුළ බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

    එසේම මෙරට ඉඩම් පිළිබද නිවැරදි දත්ත සම්පූර්ණකර නොමැති වීමේ ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව නිවැරදි දත්ත නූතන ඩිජිටල් තාක්ෂණය තුළ එක් ස්ථානයකට ගෙන ඉතාම කෙටි කාලයක් තුළ ආයෝජනවලට ගැළපෙන ඉඩම් නිදහස් කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කාරක සභාවේ අදහස විය.

    එසේම පවතින නෛතික ප්‍රතිපාදන තුළ වුවද ආයෝජන සදහා අවශ්‍ය ඉඩම් ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, අදාළ ආයතනවල නිලධාරීන් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.

    එසේම මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ඉහළ නැංවීමට ක්‍රියාත්මක ක්‍රමවේදය කාරක සභාව හමුවේ සවිස්තරාත්මකව පැහැදිළි කිරීම සිදුකරන ලදී.
    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න සහ ලලිත් වර්ණ කුමාර යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya