මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී වගාවට බලපා ඇති රෝගී තත්ත්වය අනාවරණය කර ගනී

    ජනවාරි 11, 2023

    දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට බලපා ඇති රෝගී තත්ත්වය අනාවරණය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.

    ඒ අනුව ගොයම් කහ පැහැවීමට බලපෑ ප්‍රධාන හේතුව පෝෂණ ඌණතාවය බවත් ඊට අමතරව ඇතැම් කුඹූරුවල ලවණතාවය (Salinity)ඉහළ යාම හේතු වී තිබේ. ඊට අමතරව කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය ද මෙ සඳහා බලපා ඇත.

    පසුගිය කන්න තුනක් පමණ මූලික පොහොර හෙවත් TSP (මඩ පොහොර ) , යුරියා පොහොර, හා බණ්ඩි පොහොර හෙවත් MOP නොයෙදීම නිසා පසෙහි අන්තර්ගත විය යුතු නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් ප්‍රමාණය අවම වීම හේතුවෙන් ගොයම් ගසට අවශ්‍ය පෝෂණය නොලැබීම ඒවා කහපැහැති වීමට හේතු වී තිබේ.

    මෙම රෝගී තත්වය පිළිබඳව සොයාබැලීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේවන විට රෝග තත්වයන් පවතින දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති බවත් එම තත්වයන් හඳුනා ගනිමින් ඒවා වළක්වා ගැනීම සඳහා ගන්නා ලද පියවරයන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී තොරතුරු අනාවරණය කර ඇත.

    මෙවර මහ කන්නයේ දී යුරියා හා බණ්ඩි පොහොර ලබා දී ඇති අතර ඇතැම් ගොවීන් මෙතෙක් තම කුඹුරුවලට බණ්ඩි පොහොර යොදා නොමැත.මෙතෙක් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම අලෙවි කර ඇති බණ්ඩි පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1800ක් තරම් සුළු ප්‍රමාණයකි. මෙම තත්ත්වය ද ගොයම් පැළෙහි වර්ධනයට බලපා තිබේ.

    එමෙන්ම මෙවර මහ කන්නයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වී වගාව සඳහා සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර යෙදීමට නිර්දේශ කළ ද ඇතැම් ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ නොසළකා කටයුතු කර ඇත. එම තත්ත්වය ද ගොයම්වලට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීමට හේතුවී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    කෙසේ වුවද මෙම තත්ත්වයන්ගෙන් වී වගාව ආරක්ෂා කර ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත යුතු සියලු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, කීඩෑ රෝගය, කහපුල්ලි රෝගය හා වටපණු රෝගය මර්දනයට නිර්දේශ කර ඇති කෘමිනාශක සම්බන්ධව ඒ ඒ දිස්ත්‍රික්කවල ගොවි ජනතාව දැනුම්වත් කර ඇති බවත් ලේකම්වරයා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

    කෙසේ වුවද මීළඟ යල කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය පොහොර වර්ග තුනම ලබා දීමට දැනටමත් සැළසුම් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා සියලු ගොවීන්ට TSP හෙවත් මඩ පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලයේ ම ගොවීන් වෙත ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

    ගොයම් කහපැහැතිවීම යුරියා පොහොරවල ප්‍රමිතියේ ගැටලුවක් බවට ඇතැම් ගොවීන් කරන ප්‍රකාශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරන අතර රජය සහ පුද්ගලික අංශය ආනයනය කරන යුරියා පොහොර සියල්ලම ජාතික පොහොර ලේකම් කාර්යාලය රසායනාගාර වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අනුමැතිය දුන් ඒවා බවත්, මෙරට දැනට භාවිතා කරන යුරියා පොහොරවල ප්‍රමිතිය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් ලේකම්වරයා සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya