මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාන තාක්ෂණයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පියවර

    ජනවාරි 10, 2023

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය උදෙසා සිදු කළ පර්යේෂණ මෙන්ම නව හඳුන්වාදීම් සම්බන්ධව අංග සම්පූර්ණ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා නව නිපැයුම් සම්බන්ධව වාර්තාවක් ලබා දෙන අමාත්‍ය මණ්ඩලයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලා සිටි බව අමාත්‍යවරයා කියා සිටී.

    අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වූ කරුණු අනුව වී, මිරිස්, රටකජු, බඩඉරිඟු හා තවත් බෝගවර්ග කිහිපයක් ආශ්‍රිතව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කරන ලද පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන තිබේ. නමුත් එළවළු හා පලතුරු සම්බන්ධව ප්‍රමාණවත් තරම් අවධානයක් හෝ පර්යේෂණ සිදු කර නැති බව අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර ඇත.

    මෙරට වී හා මිරිස් සම්බන්ධව ගත් කළ සාර්ථක පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි ප්‍රභේද රැසක් එම අංශයන් හි හඳුන්වා දී ඇත. එමෙන්ම මෙරට රටකජු වගාව සඳහා හඳුන්වා දුන් ලංකා ජම්බෝ ප්‍රභේදය නිසා විශාල අස්වැන්නක් පසුගිය කාලය තුළ ලබා ගැනීමට ද හැකි වී තිබේ.

    එළවළු වගාව හා පලතුරු වගාව ආශ්‍රිතව අවශ්‍ය බීජ වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවීමත්, මෙවර මහ කන්නයේ දී ප්‍රමාණවත් තරම් එළවළු බීජ නොතිබීම හේතුවෙන් වගා කටයුතුවල දී ගොවීන් අපහසුතාවයන්ට ලක් වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කෙසේ වුවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ දක්ෂ පර්යේෂකයින් රැසක් සිටින නිසා නව කෘෂිකාර්මික පර්යේෂණ ආශ්‍රිතව සිදු කිරීමත්, අවම බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලැබිය හැකි නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම සඳහාත් අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඊයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම ජාන තාක්ෂණය යොදාගනිමින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බෝග වර්ග සම්බන්ධව දේශීය වශයෙන් සිදු කරන පර්යේෂණ ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya