මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුත්තල - කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට වනජීවි දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවයි

    ජනවාරි 09, 2023

    බුත්තල - කතරගම පාරේ වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදු කරන අවස්ථා දක්වමින් ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පළවන ප්‍රවෘත්ති කෙරෙහි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

    මෙම තත්ත්වය වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙනු ලැබීය.

    ඒ අනුව පසුගිය දින 04 පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල - කතරගම පාරේ රැඳී සිටින වනඅලින් වනාන්තරයට පළවා හැරීමටත්, වාහනවලට අනතුරු සිදු කිරීම වළක්වාලීම සඳහාත් ජංගම රථ යොදවා මෙහෙයුම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබීය. එමෙන්ම මින් ඉදිරියටත් මෙම වැඩපිළිවෙල අවශ්‍යතාවය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කරන ලද බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.

    විශේෂයෙන් මෙම පාරේ වාහනවලින් ගමන් කරන සමහර පිරිස් වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මඟ රැක සිට වාහනවලින් ආහාර ලබාගැනීමට පුරුදු වී සිටීම මෙන්ම ඇතැම් මගීන් හා රියදුරන් වනඅලි කුලප්පු කිරීම මඟින් කිසියම් ප්‍රාථමික වින්දනයක් ලැබීමට තැත් කිරීම නිසා වනඅලින්ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

    එම නිසා බුත්තල - කතරගම මාර්ගයේ පමණක් නොව උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී ද වනඅලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ වනඅලින්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වනජීවි නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. පසුගිය දින 04 තුළ බුත්තල - කතරගම පාරේ ජංගම රථ යෙදවීම නිසා වනඅලින් පාරට ඒම නතර වූ බවත්, එම කාලය තුළ වාහනවලට හානි කළ බවට කිසිදු සිද්ධියක් වාර්තා නොවූ බවත් වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya