මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

    ජනවාරි 08, 2023

    "නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරි තත්වය යටතේ දී වුවත්, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.  

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවති සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

    මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය IRCON සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ උදෙසා සිදුකෙරෙන ආයෝජනයෙහි වටිනාකම ඇ. ඩොලර් මිලියන 91.27කි. මෙහි අනුරාධපුර සිට වව්නියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මීළඟ අදියර ලෙස වව්නියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරේ.


    ව්‍යාපෘති අවසන් කිරීමෙන් අනතුරුව පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන අතර, කොළඹ සිට යාපනය කන්කසන්තුරේ දක්වා දැනට දුම්රිය මගින් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කරගත හැකිවේ. ඊට අමතරව නඩත්තුව අඩුවීම සහ අවම වීම, සුඛෝපභෝගී ධාවනයක් සිදු කළ හැකි වීම, සුවපහසු සුරක්ෂිත ආරක්ෂාකාරී ගමනාන්තයක් මගීන්ට ලබාගත හැකිවීම, බුඔය නමින් නව දුම්රිය ස්ථානයක් දුම්රිය පද්ධතියට එකතුවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවේ.


    සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


    නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරි තත්වය යටතේ දී වුවත්, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් අපට ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි. 2023 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන ප්‍රථම දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක්. රට තුල නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කිසිදු හැකියාවක් නොමැති වටපිටාවක් වුවත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ උතුරු දුම්රිය මාර්ගයේ පවතින ගැටලු රැසක් නිරාකරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.


    පසුගිය කාලය පුරා මුහුණ දුන් යුද ගැටුම් හමුවේ මෙම දුම්රිය මාර්ගය ද දැඩි ලෙස හානියට පත්ව තිබුණා. යුද තත්වය අවසන් වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ කන්කසන්තුරේ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. නමුත් මහව සිට ඕමන්ත දක්වා වන මෙම දුම්රිය මාර්ග කොටස දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ මාර්ගයක්. එම අඩුව සම්පූර්ණ කිරීම සඳහා මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය මේ ආකාරයෙන් ආරම්භ කරනු ලබනවා.


    ඒ වෙනුවෙන් පසුගිය පස්වැනිදා සිට දුම්රිය මාර්ගය වසා තබා තිබෙන නමුත් මාස 5 ක් තුල එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ඉදිකිරීම් භාර සමාගමසැලසුම් කොට තිබෙනවා. එම කාලය තුළ ජනතාවගේ ප්‍රවාහන කටයුතු අවහිරයකින් තොරව සිදු කිරීමට ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව විශේෂ ප්‍රවාහන සේවාවක් සැපයීමට අපගේ අමාත්‍යාංශය සහ අදාල ආයතන මේ වන විටත් සියළු කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ අනුව ඉතාමත් සුවිශේෂී මෙම ව්‍යාපෘතිය කටයුතු අවසන් කිරීම දක්වාම කිසිදු පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ සහයෝගය හිමිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.


    එසේම මෙම ව්‍යාපෘතිය මඟින් රටට නව ආදර්ශයක් ලබා දෙමින් මෙම දුම්රිය මාර්ගයෙන් ඉවත් කරනු ලබන සෑම සිල්පර කොටසක්ම, පිල්ලක් ම, ආදි සෑම කොටසක්ම නිශ්චිත ආකාරයකින් ගණන් තැබීමකින් අනතුරුව විනිවිද පෙනෙන ආකාරයෙන් මුදල් බවට පත් කිරීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට හිමි වනවා. එසේම නැවත පරිහරණය කළ හැකි සෑම කොටසක්ම නැවත පරිහරණය කිරීම සඳහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා.


    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්,අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya