මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කඩිනම් කරන්නැයි ඇමති උපදෙස්

    ජනවාරි 07, 2023

     සියලුම මුදල් ගෙවා අවසන් කර ඇති ගැනුම්කරුවන්ට වසර අවසන්වීමට පෙර නිවාස ඔප්පු ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමටත් සැලසුම්

    නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 24ක සහ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 2ක හිමිකම් ඔප්පු ලබාදීමේ කටයුතු කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

    ඒ අනුව මෙම වසර අවසන්වීමට පෙර හිමිකම් ඔප්පු ලබාදීමේ කටයුතු අවසන්කළ හැකි වෙතැයි නාගරික සංවර්ධන අධිකාරිය විශ්වාසය පළකරයි. නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නිවාස ව්‍යාපෘති 24ක් යටතේ නිවාස ඒකක 14,607ක් ඉදිකර ජනතා අයිතියට පත්කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    මෙම නිවාස ව්‍යාපෘති 24 අතරින් නිවාස ඒකක 626කින් සමන්විත කොම්පඤ්ඤවීදිය, මෙට්‍රො හෝම්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය සඳහා සහ දෙමටගොඩ, මිහිඳුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය සඳහා මේ වනවිට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයිද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    එමෙන්ම මෙට්‍රො හෝම්ස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 626 අතරින් නිවාස ඒකක 80ක් සඳහා පැවරුම්කර ඔප්පු නිකුත්කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ ඉතිරි නිවාස ඒකක 546 සඳහා ද ඔප්පු ලබාදීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි.

    මෙම නිවාස ව්‍යාපෘති සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුව නාගරික සංවර්ධන අධිකාරියට නිවාසලාභීන්ගෙන් අයවිය යුතු මුදල වසර 30ක් ඇතුළත හෝ ඊට පෙර ගෙවා අවසන් කිරීමෙන් අනතුරුව අදාළ නිවාසලාභීන්ට ඔප්පු නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.

    මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති බොරැල්ල ඕවල්වීව් රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 608කින් සමන්විත අතර අංගොඩ ලේක් ක්‍රෙස්ට් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 500කින් සමන්විත වේ.

    මේ අතරින් අංගොඩ, ලේක් ක්‍රෙසට් නිවාස ව්‍යාපෘතියේ සහාධිපත්‍ය සහතිකය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිකුත් කර ඇති අතර සහාධිපත්‍ය ප්‍රකාශන ඔප්පු සැකසීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී. ඉන් පසුව පැවරුම්කර ඔප්පු අදාළ නිවාසලාභීන් වෙත ලබා දීමේ හැකියාව පවතින බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ බොරැල්ල, ඕවල් වීව් නිවාස ව්‍යාපෘතියේ සහාධිපත්‍ය සහතිකයද තමන් වෙත නිකුත් කර ඇති අතර සහාධිපත්‍ය ප්‍රකාශන ඔප්පු ලියාපදිංචි කිරීමට අදාළ සියලු වැඩකටයුතු අවසන්ව ඇති බව අධිකාරිය සඳහන් කරයි.

    ඒ අනුව තමන් වෙත ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා අවසන් කර ඇති ගැනුම්කරුවන්ට පැවරුම්කර ඔප්පු ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුටත් පවසයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya