මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ හා එලවළු සඳහා විශේෂ මිශ්‍ර පොහොරක්

    ජනවාරි 05, 2023

    කොමර්ෂල් පොහොර සමාගම මෙරට තේ හා එළවළු සඳහා විශේෂිත මිශ්‍ර පොහොරක් හඳුන්වා දීම (03) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කළ අතර මෙම විශේෂිත මිශ්‍ර පොහොර සංකේතාත්මකව කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට බාර දීම කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     

    රජය ක්‍රියාත්මක කර තිබෙන ගොවිතැන් කටයුතු සඳහා පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ මෙම පොහොර නිෂ්පාදනය කිරීම සිදු කර තිබේ.


    සතියක් වැනි කෙටි කාලයක් තුළ පර්යේෂණ සිදු කර එම කාර්ය මණ්ඩලය මෙම විශේෂිත මිශ්‍ර පොහොර නිෂ්පාදනය කළ බව එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.
    මෙම විශේෂ තේ හා එළවළු පොහොර කිලෝ ග්‍රෑම් 50 මිටියක් වෙළෙඳ පොලේ මිලට වඩා රුපියල් 3000ක් අඩුවෙන් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කර තිබේ.


    කොමර්ෂල් පොහොර සමාගම මේ වනවිට මෙම පොහොර මෙට්‍රික් ටොන් 800ක් නිෂ්පාදනය කර ඇති අතර මෙට්‍රික් ටොන් 6500ක් නිෂ්පාදනය කිරීම ඉලක්ක කර තිබේ. එසේම වෙළෙදපොලට තේ සඳහා යොදන T-200 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 100ක්, T-750 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 200ක්, U-709 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 200ක්, හා U- 834 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 200ක් වශයෙන් තේ හා එළවළු සඳහා මෙම මිශ්‍ර පොහොර නිකුත් කර ඇත.


    මෙරට කුඩා තේවතු හිමියන් ලක්ෂ 05ක් සිටින බවත්, එම පිරිසට අඩු මුදලක් යටතේ පොහොර ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් කොමර්ෂල් පොහොර සමාගමට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට කෘතතාවය පළ කරන බව මෙම අවස්ථාවට එක් වූ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති තුෂාර ප්‍රියදර්ශන මහතා පැවසීය.


    තේ හා එළවළු සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම කොමර්ෂල් පොහොර සමාගමටත්, අර්තාපල් සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම ලංකා පොහොර සමාගමටත් අමාත්‍යවරයා පසුගියදා උපදෙස් ලබා දුන් අතර ඒ අනුව මෙම පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබේ.


    මෙහිදී අදහස් පලකළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා රසායනික පොහොර තහනම් කිරීම නිසා මෙරට ගොවිතැන කඩා වැටුනු බවත්, එමෙන්ම රටේ ආහාර නිෂ්පාදනය අඩාල වූ බවත් සදහන් කළේය.
    නමුත් පසුගිය යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ලබා දීමට රජය පියවර ගැනීම නිසා අරගලවල හා පාරේ විරෝධතාවලට එක්ව සිටි ගොවී ජනතාව නැවතත් කුඹුරුවලට හා ගොවිබිම්වලට යැවීමට හැකි වූ බවත් සඳහන් කළේය. එමනිසා ගොවි ජනතාව අකර්මන්‍ය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත්, නමුත් ගොවි ජනතාව මෙවරත් තම ගොවිබිම්වල වගා කිරීමට කටයුතු කිරීම සුබවාදී පියවරක් බව ද සඳහන් කළේය.


    මෙම අවස්ථාවට කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති තුෂාර ප්‍රියදර්ශන මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya