මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය කොවිඩ් අවධානම හමුවේ අපේ ප්‍රතිශක්තිකරණ මට්ටම ප්‍රශස්ථව පවත්වාගත යුතුයි - විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

    ජනවාරි 04, 2023

    ගෝලීය කොවිඩ් අවධානම හමුවේ අපගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ප්‍රශස්ථව පවත්වාගත යුතු බවද, එසේ ප්‍රතිශක්තීකරණ මට්ටම ප්‍රශස්ථව පවත්වාගතහොත් කුමන කොවිඩ් ප්‍රභේදයක් පැමිණියද රට තුළ පැතිරීම සීමා කරගත හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ අද (04) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී ˝ කොවිඩ් යළිත් හිස ඔසවයිද? ˝ යන මැයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.


    චීනය වැනි රටවල් වල නැවතත් කොවිඩ් රෝගය වේගයෙන් ව්‍යාප්තියත් සමග මෙරට ජනතාවට භීතියක් මතුව ඇතැයිද, අප රටටද අවධානමක් පවතින බවද කියා සිටි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවධානම අඩුකර ගැනීමට කළ යුතු හොඳම දේ ඒන්නත්කරණය බවයි.

    ප්‍රාථමික එන්නත්කරණය සම්පූර්ණ නොකළ පිරිස්ද රට තුළ සිටිනා බව සිහිපත් කළ වෛද්‍යවරයා ඔවුන්ටද එන්නත්කරණය සම්පූර්ණ කරගන්නා ලෙස ඉල්ලා සිටිමින් වර්ධක මාත්‍රා ලබා නොගත් එනම් තෙවන සහ හතරවන එන්නත් ලබා නොගත් පුද්ගලයින්ටද වහාම සිය එන්නත්කරණය සම්පූර්ණ කරගන්නා ලෙස කියා සිටියේය.

    2022 වසරේ ජනවාරි මස ඔමික්‍රෝන් ප්‍රභේදය අප රටට පැමිණියද එය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් ඉන් රෝගී වන සහ මියයන පිරිස් වැඩි නොවූයේ ඒ වන විටද ප්‍රථම වර්ධක මාත්‍රාව එනම් තෙවන එන්නත මෙරට සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගෙන තිබීම නිසා බව විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා අවධාරණය කළේය.

    සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම සහ සෑම රෝහලකම එන්නත්කරණය ලබාගැනීම සඳහා සයිනොෆාම් එන්නත් ප්‍රමාණවත් ලෙස බෙදාහැර ඇතැයිද මෑතකදී චීනයෙන් වැඩි වශයෙන්ම වාර්තා වූ බී එෆ් 7 ප්‍රභේදය ඔමික්‍රෝන් වලම අනු ප්‍රභේදයක් බවද අවධාරණය කළේය.

    වයස අවුරුදු 60ට වැඩි නිදන්ගත රෝග ඇති අය සඳහා පසුගිය කාලයේ හඳුන්වාදුන් දෙවන වර්ධක මාත්‍රාව එනම් හතර වෙනි එන්නත සඳහා ලැබුණු ප්‍රතිචාරය අවම බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා නව ප්‍රභේදය වන බී එෆ් 7 ප්‍රභේදය සම්බන්ධයෙන් තවමත් පවත්නා දැනුම මද බවද දැනට ඇති දත්ත අනූව එය පැවති ප්‍රභේද වලට වඩා කාර්යක්ෂමව පැතිරිය හැකි පයැයි විශ්වාස කරන බව පැවසුවේය.

    නමුත් මෙහි ව්‍යාධිජනකභාවය එනම්, මෙයින් වැඩිපුර සංකූලතා පැමිණෙන්නේද, ලෙඩේ තීව්‍රතාවය වැඩි කරන්නේද නැතිද යන වග සම්බන්ධයෙන් තවමත් නිශ්චිත සාක්ෂි නැතැයිද මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ පිළිබඳව අධ්‍යයනය කරමින් පසුවන බවද සඳහන් කළේය.

    සෑම විටම හොඳ සෞඛ්‍ය පුරුදු පරිශීලනය කරන ලෙසද වෛද්‍යවරයා සිහිපත් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya