මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම කෙනෙකුගේ ම කුස පුරවන අනාගතයක් ගැන කල්පනා කළ යුතුයි - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

    ජනවාරි 03, 2023

    රටේ ආහාර සුරක්ෂිතතාවක් පැවතීමට නම්, ජවසම්පන්න සහ එඩිතර මානව සම්පතක් පවත්වාගෙන යායුතු බවත්,ඊට නිර්මාණශීලී ජවසම්පන්න මානව සම්පතක් බිහිකිරීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන් අමාත්‍යාංශයක් ලෙස නව වසරේ රාජකාරි ආරම්භ කරන මොහොතේ සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    ඊයේ (02) සිය අමාත්‍යංශ පරිශ්‍රයේ දී රාජ්‍ය නිලධරීන් අමතමින් අමාත්‍යවරයා මෙසේ කීය.

    එමෙන්ම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය ලෙසින් නව වසරේ සිය අධිෂ්ඨානය නිර්මාණශීලී ජවසම්පන්න මානව සම්පතක් බිහි කිරීම සහ පවත්වාගෙන යාම බවත්, එහි දී අතීතයේ අත්දැකීම්වලට හෝ වටේ සිටින පිරිසට, අනාගතය හෝ ඉදිරි ගමන තීරණය කිරීමටවත් පාලනය කිරීමටවත්, කිසිසේත් ම ඉඩ නොදිය යුතු බවත් ඒ මහතා පැවසීය.

    එහි දී අතීතයේ අත්දැකීම්වලට හෝ වටේ සිටින පිරිසට අනාගතය හෝ ඉදිරි ගමන තීරණය කිරීමටවත් පාලනය කිරීමටවත්, කිසිසේත් ම ඉඩ නොදිය යුතු බවත්, ඉදිරියට ගමන් කරන්නේ නම් අතීත අත්දැකීම් නොසලකා කටයුතු කළ යුතු බවත් පැවසූ අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය;

    “අපට තෙල් නෑ. අපට ගෑස් නෑ. අපට තියෙන ප්‍රබලම සම්පත මානව සම්පත බවයි මගේ අදහස. අපේ රටේ මානව සම්පතේ අනාගතය බාරව ඉන්න ආයතනය තමයි අපේ අමාත්‍යාංශය. ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙනව රටේ ජනතාව සම්බන්ධයෙන්.. ඒ සඳහා රට තුළ ආහාර සුරක්ෂිතතාවක් පැවතිය යුතුයි..

    අපි හැම වෙලාවෙම කතා කරන්නේ ඉතිහාසය ගැන. ඉතිහාසයේ වැරදි ගැන. අතීතයේ ප්‍රෞඩත්වය ගැන. ඒත් මම කියන්නේ මෙතනින් එහාට අපි අතීතය අමතක කරමු. අතීත අත්දැකීමුත් අමතක කරමු. අතීත අත්දැකීම් එක්ක හැම වෙලාවෙම අපිට ඉදිරියට ක්‍රියාත්මක වෙන්න බෑ. මේ අතීත අත්දැකීම් අපේ හිත් ඇතුළෙන් අපිව පාලනය කරනවා. අතීත අත්දැකීම් කියනවා නෑ ඕක කරන්න එපා කියලා. ඉස්සරහට අඩියක් තියන්න හදනකොට අපි හිතනවා, මිනිස්සු මොනවා හරි කියයි කියලා. අපේ අතීත අත්දැකීම්වලට, මිනිස්සුන්ට අපිව පාලනය කරන්න ඉඩ තියන්න එපා. අපේ ඉදිරි ගමන තවත් කෙනෙක් නිසා නතර කරන්න එපා.

    ඉස්සරහට අඩියක් තියන හැම වෙලාවෙම කල්පනා කරනවා මුදල් ප්‍රශ්නයක් වෙයි ද කියලා. හැබැයි ජීවිතයේ ඉස්සරහට යන්න කල්පනා කරනවා නම් අතීත අත්දැකීම්වලින් මේක කරන්න පුළුවන් වෙයි ද, අනෙක් අය මොනවා හිතයි ද, මුදල් ප්රාමාණවත් වෙයි ද කියලයි හිතන්නේ. කවදාවත් ඔබේ ඉදිරි ජීවිතේ තීරණය කරන්න, වටේ ඉන්න මිනිස්සුන්ට වත් අතීත අත්දැකීම්වලට වත් ඉඩක් තියන්න එපා.

    අපේ රටේ බොහෝ දෙනෙක් හැම වෙලාවෙම වැඩකරන්නෙ අතීතකාමයෙන් මත්වෙලා. ඔවුන් මොන වැඩේ කරන්න ගියත් ඉතිහාසයට කොටු වෙනව. අතීත අත්දැකීම් එක්ක පමණක් කටයුතු කරන්න තමයි හැම වෙලාවෙම අපේ බොහෝ දෙනෙක් මුල් තැන දෙන්නෙ. ඒ නිසා තමයි අපට හැමදාම රටක් විදිහට එක තැන පල්වෙන්න වෙලා තියෙන්නෙ.

    මේ තත්ත්වය වෙනස් කිරීමට අපි ආයතන විදිහට විතරක් වෙනස් වෙලා මදි. ඒ සඳහා අපි පුද්ගලයො විදිහට වෙනස් විය යුතුයි. පුද්ගලයො විදිහට වෙනස් නොවී ආයතන විදිහට විතරක් වෙනස් වුණාට කිසිම දවසක මේ රට දියුණු කරන්න බැහැ. පුද්ගලයා වෙනස් වුණොත් විතරක් අපට ආයතනයත්, රටත් සමස්ත සමාජයමත් වෙනස් කළ හැකියි.”

    සමාජ සාධාරණත්වය රැකෙන, මානව හිමිකම් ආරක්ෂා වෙන රටක් නිර්මාණය වනු ඇත්තේ අද මේ ඉන්න ගතානුගතික පුද්ගලයා ඒ ගතානුතික අදහස්වලින් මිදුනොත් පමණක් බව සඳහන් කළ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය;

    “නැවියෙක් තමන් යායුතු ඉලක්කය හරියටම හඳුනාගත් පසු අතරමගදි හමුවන කුණාටු ආදී බාධක කිසිවකට සැලෙන්නෙ නෑ. ඔහු හරියටම යායුතු තැනට නැව අරගෙන යනව. අද අපේ රටේ ඉලක්කය අපි සකස් කරගෙන තියෙනව. අවුරුදු 25කින් ඒ කියන්නේ 2048 දී අපේ රට කොතනට ද යන්නෙ කියල අපි හඳුනාගෙන තියෙනව. ඒ ඉලක්කය වෙනුවෙන් අපිව මෙහෙයවන නායකයෙක් අද අපට ඉන්නව. නැවියෙක් මගදි හමුවන කුණාටුවලට නිවැරදිව මුහුණ දෙනව වගේ අපේ රට මුහුණ දෙන අභියෝගවලින් ගලවා ගෙන නිවැරදි තැනට රට මෙහෙයවීමේ හැකියාව එම නායකත්වයට තිබෙනවා.

    සමහර වෙලාවට 2048 කිව්වාම දීර්ඝ කාලයක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපි දන්නව ලොකු දුරක් ගමන් කරපු හැම ගමනක්ම පටන් ගත්තෙ පළමු පියවර තියලයි. ලොකු ගංගාවල් හැදුනෙ පුංචි වතුර බිංදු එකතු වෙලා, පුංචි දිය පාරවල් එකතු වෙලා.

    මෙච්චරකල් අපට බැරි වුණා. හැබැයි 2048 දී අපි දියුණු රටක් වෙනවා ම යි කියන අධිෂ්ඨානය අපේ හිත් තුළ ධාරණය කර ගමු. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කැපකිරීම් කරමු. පාට පක්ෂ බදාගෙන අපි කාලාන්තරයක් හිටියා. පක්ෂේ තමයි අපට ලොකු වුණේ. ආගම තමයි අපට ලොකු වුණේ. ජාතිය තමයි ලොකු වු‍ණේ. හැබැයි ජාතියවත්, ආගමවත්, කුලයවත්, ස්ත්‍රී පුරුෂ භාවයවත් නොවෙයි වැදගත්. අපට වැදගත් වෙන්නේ රට ගොඩනැගීමට ඇති වුවමනාව පමණයි. අනෙක් කිසිදු බෙදීමක් අදාළ වෙන්නේ නෑ. මම මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයටවත් දේශපාලන පත්කිරීම් කරල නෑ. ඒ සඳහාත් මම පත්කරල තියෙන්නේ උගත් බුද්ධිමත් පිරිසක්. වැඩ කළ හැකි පිරිසක්. මගේ විෂය පථයට අයත් කිසිදු ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලවලවත් පැරදුණු දේශපාලනඥයන් නෑ. මම එහෙම කළේ ආදර්ශය ප්‍රායෝගික විය යුතු නිසයි.”

    මෙම අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහූ ද එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya