මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු අභියෝගයන් මැද සමස්ත ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීමට වගකීමෙන් යුතුව නව වසරේ පෙළ ගැසෙමු - නියෝජ්‍ය කථානායක

    ජනවාරි 02, 2023

    අන් කවරදාටත් වඩා අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති අවස්ථාවක රටේ උත්තරීතරම ආයතනයක කාර්ය මණ්ඩලය ලෙස ජනතා අපේක්ෂාවන් වගකීමෙන් ඉටුකිරීමට නව වසරේ පෙළ ගැසෙන මෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (02) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අමතමින් අවධාරණය කළේය.

    2023 වසර සඳහා රාජ්‍ය නිලධාරින් ප්‍රතිඥා / දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) එක්වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව පවසා සිටියේය.

    කොවිඩ් අභියෝගය ජයගැනීමෙන් පසු ආර්ථික අර්බුදයට මුහුණදිමට සිදුවු බවත් ඒ අනුව පවතින දුෂ්කරතා ජය ගැනීම සදහා රාජ්‍ය සේවකයන්හට සුවිසල් වගකීමක් පැවරෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. විශේෂයෙන් රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් එකවර විශ්‍රාම ගන්නා පසුබිමක වෙනදාටත් වඩා අභියෝගාත්මක පරිසරයක ජනතාව වෙනුවෙන් සිය වගකීම් කොටස ඉටුකිරීමට සිදුව ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස ප්‍රධාන පියගැට පෙළ අසලදී ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලය නව වසරේ රාජකාරි ඇරඹීමේ චාම් උත්සවය ආරම්භ කරන ලදී.

    ඉන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවිකැප කළ සියලු දෙනා සැමරීම උදෙසා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කෙරිණි. පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය  මණ්ඩල සාමාජිකයෝ එක්ව රාජ්‍ය සේවා  ප්‍රතිඥාව / දිවුරුම් දීම සිදු කළේ ඉන් පසුවය.

    නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසා සිටියේ පවතින දුෂ්කරතාවලින් රට මුදවා ගැනීම සදහා අභියෝගාත්මක පරිසරය තුළ උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව සේවය කළයුතු බවයි. පාර්ලිමේන්තුවේ නව කාරක සභා රැසක් ස්ථාපිත කිරීමට නියමිත බවත් ඒ අනුව බදවා ගැනීම් සහ මූල්‍ය ප්‍රතිපාදන සීමා වී ඇති පසුබිමක වඩාත් කැපවීමෙන් එකම පවුලක් ලෙස කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය මහලේකම්වරිය අවධාරණය කර සිටියාය.

    එසේම පැවති කොවිඩි අභියෝගය තුළ පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව සිදුකිරීම සදහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැක්වූ දායකත්වය පිළිබඳව ද නියෝජ්‍ය මහලේකම්වරිය සිය ස්තුතිය
    පළකර සිටියාය.
    මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය මෙන්ම අනුබද්ධ කාර්‍ය මණ්ඩලයද එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya