මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ඉල්ලා සිටින වගකීම සහ යුතුකම ඉටු කරමු - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    ජනවාරි 02, 2023

    සමාජීය හා දේශපාලනික වශයෙන් අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක රජයේ නිල ස්ථාවරය ජනතාව අතරට නිවැරදිව ගෙන යාම සහ රාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීම රජයේ සේවකයින්ගේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බැව් ප්‍රකාශ කරනු ලැබුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති උත්සව සභාවක් අමතමිනි.

    නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පෙර ජාතික ධජය එසවීමෙන් අනතුරුව නව වසර වෙනුවෙන් පැවැති උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය රජයේ නිල ප්‍රතිඥාව ලබා දීම ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    රජයේ නිල ස්ථාවරය රටට ප්‍රකාශ කිරීමේ ජාතික වගකීම ඉටු කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊට අදාළ තොරතුරු හා ප්‍රවෘත්ති පසුගිය සමයේ ප්‍රශස්ථ ලෙස ජනතාව අතරට සන්නිවේදනය කිරීමට සමත් වූ අතර එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාගේ කාර්යක්ෂම මැදිහත්වීම සහ සහයෝගය අත්‍යවශ්‍ය බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ''අප මේ ගත කරමින් සිටින්නේ අභියෝගාත්මක සහ සංවේදී කාල සීමාවක්. මෙවැනි මොහොතක සමාජය ධනාත්මක ඉදිරි ගමනක් කරා මෙහෙයවීම මාධ්‍යයේ සහ ඊට අදාළ සන්නිවේදන ක්ෂේත්‍රය නියෝජනය කරන අයගේ වගකීමක්. මා මෙම තනතුරට පත් වී පැමිණි කෙටි කාලය තුළ එම වගකීම ඉටු කිරීමට ඔබ ලබාදුන් සහයෝගය සුවිශේෂය. ඒ පිළිබඳව මා ඔබට මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා.

    මෙම දුෂ්කර අභියෝගාත්මක අවධියේ රජයේ සේවකයින්ගේ කාර්යක්ෂම සේවාවක් රට වැසියන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ එම බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම අප සැමගේ වගකීමයි. එය නිරන්තරව මතකයේ තබා ගෙන ජනතාවගේ බලාපොරොත්තු, අපේක්ෂාවන් ජයග්‍රහණ කරලීමේ උත්තරීතර අරමුණ පෙරදැරිව ඔබ සියලු දෙනා කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

    මේ දුෂ්කර මොහොතේ මාතෘ භූමිය ඉල්ලා සිටින යුතුකම හා වගකීම ඉටු කිරීම‌ට සාමූහික ප්‍රයත්නයක නිරත වන ලෙස තමා ඉතා ඕනෑකමකින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya