මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු කියයි

    දෙසැම්බර් 31, 2022

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීම සම්බන්ධයෙන් වන ජනාධිපති කාර්ය සාධන බලකා නි‍යෝජිතයෝ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කරුණු ඉදිරිපත් කරති.

    ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසුකිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායන් 8 නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු මෙරට ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ඉහළ නැංවීමට අදාළ ගැටලු සහ යෝජනා පිළිබඳව ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට’ පසුගියදා කරුණු ඉදිරිපත් කළහ.

    එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) මධුර විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

    ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසුකිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධන බලකායන් නියෝජනය කරන ශ්‍රී ලංකා රේගුව, අධිකරණ අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කළ ප්‍රධානීහු මෙහිදී කාරක සභාවට සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළහ.

    ව්‍යාපාර සම්බන්ධයෙන් මාර්ගගත තාක්ෂණය (Online) ප්‍රවර්ධනය කිරීම, මානව සම්බන්ධවීම් (Human involvement) අවම කිරීම ආදි පියවර මගින් වැයවන කාලය හැකිතාක් අඩුකිරීම සහ කාර්යක්ෂමතාව වැඩිකිරීම ආදී කරුණු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එසේම ජනාධිපති කාර්ය සාධන බලකායන් 8හි ක්‍රියාකාරී සැලැස්ම ද මෙහිදී සාකච්ඡා වූ අතර ව්‍යාපාරයක් ලියාපදිංචි
    කිරීම, එය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය අංශයෙන් ලබාදිය හැකි සහයෝගය පිළිබඳව ද පැමිණ සිටි මන්ත්‍රීවරු කරුණු විමසූහ.

    එසේම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසුකිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඊට අදාළ විසදුම් පිළිබඳව ද, විශේෂයෙන් වානිජ මහාධිකරණයේ නඩු පැවරීම් සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමුවිය.

    මෙහිදී මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) මධුර විතානගේ මහතාගේ මහතා පෙන්වා දුන්නේ මෙම සෑම අංශයක් සම්බන්ධයෙන්ම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමේ සිට දැනුවත් කිරීමේ වැඩසටහන් සකස් කිරීම වැදගත් බවයි. එවිට මෙම කරුණු සම්බන්ධයෙන් ඒ ඒ සථර මට්ටමින් සාධනීය ආකාරයෙන් කටයුතු කිරීමට හැකි වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතීඥ) අනුර ප්‍රියදර්ශන යාපා, මොහොමඩ් මුසම්මිල්, සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන සහ ලලිත් වර්ණකුමාර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya