මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය- කැලණිය රජමහා විහාරස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක්

    දෙසැම්බර් 30, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, ඒ යටතේ බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරිණ. එම ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් වැඩසටහන ලෙස මෙම වැඩසටහන නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයේ සංවිධායකත්වයෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් වලට අනුකූලව පැවැත්විණි.

    ඒ අනුව, නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ප්‍රථමයෙන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, කැළණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයේදී මෙම විශේෂ පූජාව ආරම්භ කෙරිණි. එහිදී වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටත්, සමස්ත නාවික හමුදාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

    මෙම විශේෂ පිංකම සඳහා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක යන මහත්වරු ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

     

    මූලාශ්‍රය- ශ්‍රී ලංකා නාවික හමුදාව

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya